Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
21 verses
1ධර්මිෂ්ඨයා පහවයන්නේය, නුමුත් කිසිවෙක් එය සිතට නොගන්නේය; භක්තිවන්ත මනුෂ්‍යයෝද පහකරනු ලබති, නුමුත් ධර්මිෂ්ඨයා විපත්තිය ඉදිරියෙන් ගෙනයනු ලබන බව කිසිවෙක් කල්පනාකරන්නේ නැත.
2ඔහු සමාදානයට පැමිණෙයි; තමුන්ගේ අවංකකමින් හැසිරෙන්නෝ තමුන්ගේ යහන්වල නිශ්චලව සිටින්නෝය.
3එහෙත් මායාකාරීගේ පුත්‍රයෙනි, පරදාරිකයාගෙත් වේශ්‍යාවගෙත් වංශය, මෙහි ළංවෙන්න.
4නුඹලා කාට විරුද්ධව කවටකම්කරන්නහුද? නුඹලා කාට විරුද්ධව කට අයා දිව දික්කරන්නහුද?
5අලෝන ගස් අතරෙන් සියලුම ගස් යටත් රාගයෙන් දැවෙන්නාවූ, මිටියාවත්වල පර්වත විවර යට දරුවන් මරන්නාවූ නුඹලා කැරළිකාරකමේ දරුවොත් බොරුකාර වංශයකුත් නොවන්නහුද?
6නුඹේ කොටස තිබෙන්නේ මිටියාවතේ සිනිඳු ගල් අතරෙහිය; ඒවාම නුඹේ කොටසය. ඒවාට නුඹ පාන පූජාවක් වගුරුවා ආහාර පූජාවක්ද ඔප්පුකෙළෙහිය. මේ දේවල් තිබියදී මා නිශ්චලව සිටින්නේ කොහොමද?
7උස්වූ උසස්වූ කන්දක් උඩ නුඹේ යහන නුඹ තබාගත්තෙහිය. එතැනද පූජා ඔප්පුකිරීමට නුඹ නැගී ගියෙහිය.
8දොරටත් උළුවස්සටත් එහායින් නුඹේ සලකුණ නුඹ තබා තිබේ. මක්නිසාද නුඹ මට නොව අනිකෙකුට නුඹම ප්‍රකාශවී නැගී ගියෙහිය; නුඹේ යහන පළල්කොට ඔවුන්ගෙන් පොරොන්දු ලබාගත්තෙහිය; ඔවුන්ගේ යහන දුටු තැනදී ඊට ආලය වූයෙහිය.
9නුඹ රජු වෙතට තෛල රැගෙන පැමුණුනෙහිය, නුඹේ සුවඳ දේද වැඩිකරගත්තෙහිය, නුඹේ තානාපතීන් නුඹ දුරු රටවලට ඇර, පාතාලය දක්වා පහතට බැස්සෙහිය.
10නුඹේ මාර්ගයේ දීර්ඝකම නිසා නුඹ වෙහෙසවූවෙහිය; එසේ වුවත්: එය නිෂ්ඵලයයි නුඹ නොකීවෙහිය. නුඹේ අතේ ප්‍රාණවත්කම සම්��වූ බැවින් නුඹ දුර්වල නූණෙහිය.
11නුඹ මා සිහි නොකොට, ඒක සිතට නොගෙන, බොරුකීවේ කාට තැතිගෙන භයවෙලාද? මම බොහෝ කලක්ම නිශ්ශබ්දව නොසිටියෙම්ද? නුමුත් නුඹ මා කෙරෙහි භයක් නැත.
12මම නුඹේ ධර්මිෂ්ඨකම දන්වන්නෙමි; නුඹේ ක්‍රියාවලින් නම් නුඹට ප්‍රයෝජන නොලැබේ.
13නුඹ මොරගසන විට නුඹ විසින් රැස්කරගත් ඒ දේවල් නුඹ ගළවා ගනීවා; ඒ සියල්ලම හුළඟට ගහගන යන්නේය, හුස්මකට පහවන්නේය. නුමුත් මා කෙරෙහි විශ්වාසකරන්නා දේශය අත්කරගෙන, මාගේ ශුද්ධවූ කන්ද උරුමකරගන්නේය.
14කෙනෙක් කථාකොට: සමතලාකරන්න. සමතලාකර, මාර්ගය පහදා පැකිලවන දේ මාගේ සෙනඟගේ මාර්ගයෙන් අහක්කරන්නැයි කියනවා ඇත.
15මක්නිසාද උසස්වූ, උත්කෘෂ්ටවූ, සදාකාලයෙහි වසන්නාවූ ශුද්ධය යන නාමය ඇති තැනන්වහන්සේ මෙසේ කියනසේක. මම උසස්වූ ශුද්ධවූ ස්ථානයෙහිද යටහතුන්ගේ ආත්මය ප්‍රාණවත් කරන්ටත් පොඩිවී සිටින්නන්ගේ සිත ප්‍රාණවත්කරන්ටත් තැළුණවූ යටහත් ආත්මයක් ඇත්තා සමඟ වාසයකරමි.
16මම සදාකල්ම විවාද නොකරන්නෙමි, සෑම කල්ම උදහස්ව නොසිටින්නෙමි. එසේ සිටියොත් මා ඉදිරියෙහි ආත්මයද මා විසින් මැවූ ප්‍රාණද ක්ලාන්තවී යන්නෝය.
17ඔහුගේ තණ්හාවේ වරද නිසා මම උදහස්වී ඔහුට පහරදී, සැඟවී උදහස්ව සිටියෙමි. එහෙත් ඔහු හිතුවක්කාරව තමාගේ සිතේ මාර්ගයෙහිම ගියේය.
18මම ඔහුගේ මාර්ග දුටිමි, ඔහු සුවකරන්නෙමි. මම ඔහුට මගපෙන්වා, ඔහුටත් ඔහු සමඟ වැලපෙන්නන්ටත් නැවත සැනසීම දෙන්නෙමි.
19මම තොල්වල ඵල උපදවමි. දුර සිටින්නාටත් ළඟ සිටින්නාටත් සමාදානය වේවා, සමාදානය වේවා; මම ඔහු සුවකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
20නුමුත් දුෂ්ටයෝ කැලඹී තිබෙන මුහුදට සමානය; මක්නිසාද ඊට නිශ්චලවන්ට නුපුළුවන, එහි ජලය මඩ හා කුණු මතුකරයි.
21දුෂ්ටයන්ට සමාදානය නැතැයි මාගේ දෙවියන්වහන්සේ කියනසේක.