Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
13 verses
1උස්සියා රජු නැසුණු අවුරුද්දේදී ස්වාමීන්වහන්සේ උස්වූ උසස්වූ සිංහාසනයක වැඩ හිඳිනවා දුටිමි. උන්වහන්සේගේ වස්ත්‍ර කෙළවරින් මාළිගාව පිරී තිබුණේය.
2උන්වහන්සේ අවටින් සෙරාප්වරු සිටියෝය. එක් එක්කෙනාට පියාපත් හය බැගින් තිබුණේය; දෙකකින් මුහුණ වසාගත්තේය, දෙකකින් පාද වසාගත්තේය, දෙකකින් පියාසර කෙළේය.
3ඔව්හු එක්කෙනෙක් අනිකෙකුට මොරගසමින්: සේනාවල ස්වාමීන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධය, මුළු පොළොව උන්වහන්සේගේ තේජසින් පිරී තිබේයයි කීවෝය.
4එවිට මොරගැසූ තැනැත්තාගේ හඬට එළිපත්වල අත්තිවාරම් සෙලවුණේය, ගෘහයද දුමෙන් පිරුණේය.
5එවිට මම කථාකොට: අහෝ! මට දුක්වේ! මක්නිසාද මට විනාශය විය; කුමක් හෙයින්ද අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්ව සිටින්නාවූ, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ වසන්නාවූ මම සේනාවල ස්වාමිවූ රජ්ජුරුවන්වහන්සේ මාගේ ඇස්වලින් දුටුවෙමියි කීමි.
6එවිට සෙරාප්වරුන්ගෙන් එක්කෙනෙක් අඬුවෙන් පූජාසනය මත්තෙන්ගත් ගිනි අඟුරක් අතින් රැගෙන මා ළඟට පියාසරකර ඇවිත්,
7ඒක මාගේ මුඛයෙහි තවරා කථාකොට: බලව, මේක නුඹේ තොල්වල තැවරුණේය; මෙසේ නුඹේ අපරාධය පහකරනලද්දේය, නුඹේ පාපය කමාකරනලද්දේයයි කීය.
8එවිට: මම කවරෙකු යවම්ද? අප උදෙසා යන්නේ කවුදැයි කියන්නා වූ ස්වාමීන්වහන්සේගේ හඬ මට ඇසුණේය. මමද: මෙන්න මම මෙහිය; මා යැවුව මැනවයි කීමි.
9උන්වහන්සේ: නුඹ ගොස් මේ සෙනඟට කථාකොට-නුඹලා අසමින්ම තේරුම් නොගෙන දකිමින්ම දැන නොගෙන සිටින්නැයි කියන්න.
10මේ සෙනඟ තමුන්ගේ ඇස්වලින් නොදැක, තමුන්ගේ කන්වලින් නොඅසා, තමුන්ගේ සිත්වලින් තේරුම් නොගෙන, නොහැරී සුවය නොලැබ සිටින පිණිස, ඔවුන්ගේ සිත දැඩිකර, ඔවුන්ගේ කන් බිහිරිකර, ඔවුන්ගේ ඇස් අඳුරුකරන්නැයි කීසේක.
11එවිට මම: ස්වාමීන්වහන්ස, කොපමණ කලකටදැයි ඇසුවෙමි. උන්වහන්සේද: වැසියෙක් නැතිව නුවරවල්ද මනුෂ්‍යයෙක් නැතිව ගෙවල්ද පාළුවීමත්, දේශය මුළුමනින්ම පාළුවීමත්,
12ස්වාමීන්වහන්සේ විසින් මනුෂ්‍යයන් ඈතට පහකිරීමත්, දේශයෙහි මහත් හිස්කමක් වීමත් සිදුවෙන තුරුය.
13පසුව දසයෙන් කොටසක් එහි ඉතුරුවුණත් ඒක නැවත නාස්තිකරනු ලබන්නේය. එහෙත් ඒලොන් ගසක්ද අලෝන ගසක්ද කපාදැමූ කල එහි පණ තිබෙන්නාක්මෙන්ම ශුද්ධවූ වංශය ඔවුන්ගේ ප්‍රාණයයයි කීසේක.