Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
19 verses
1ඒදොමේ සිට දීප්තිමත් රතු ඇඳුම් ඇතුව, තමාගේ වස්ත්‍රවලින් ඉසුරුමත්ව, තමාගේ මහත් බලයෙන් ගමන්කොට, බොශ්රායෙන් එන්නාවූ මේ තෙම කවුද? ධර්මිෂ්ඨකමින් කථාකරන්නාවූ ගළවන්ට බලවත්වූ මමය.
2ඔබගේ ඇඳුම් රතුව, ඔබගේ වස්ත්‍ර මුද්‍රික පැස පාගන්නෙකුගේ ඇඳුම් මෙන් තිබෙන්නේ මක්නිසාද?
3මම තනියම මිදියන්ත්‍රය පෑගීමි; ජනයන්ගෙන් කිසි මනුෂ්‍යයෙක් මා සමඟ නොසිටියේය. එසේය, මාගේ උදහසින් ඔවුන් පෑගීමි, මාගේ කෝපයෙන් ඔවුන් පොඩිකෙළෙමි; ඔවුන්ගේ රුධිරය මාගේ ඇඳුම්වල ඉසිරී තිබේ, එයින් මාගේ සියලු ඇඳුම් කැලැල්කරගතිමි.
4මක්නිසාද පළිගැනීමේ දවස මාගේ සිතේ තිබුණේය, මා විසින් මුදනු ලැබූවන්ගේ අවුරුද්දත් පැමිණ තිබේ.
5මම බැලීමි, පිහිටවෙන්ට කිසිවෙක් නොවීය; උසුලන්ට කිසිවෙක් නැති බැවින් පුදුමවීමි. ඒ නිසා මාගේම හස්තය මට ගැළවීම ගෙනදුන්නේය; මාගේ කෝපය මා උසුලාගත්තේය.
6මාගේ උදහසින් ජනයන් පාගා, මාගේ කෝපයෙන් ඔවුන් මත්කරවා, ඔවුන්ගේ රුධිරය බිම වැගිරෙවුවෙමි.
7මම ස්වාමීන්වහන්සේගේ කරුණාවල්ද, ස්වාමීන්වහන්සේ අපට ගෙන දුන් සියල්ල ලෙස ස්වාමීන්වහන්සේගේ ප්‍රශංසාවල්ද, උන්වහන්සේගේ අනුකම්පාවල හැටියටත් උන්වහන්සේගේ කරුණා රාශියේ හැටියටත් ඉශ්රායෙල් වංශයට පැවැත්වූ මහත් යහපත්කමද සඳහන්කරන්නෙමි.
8මක්නිසාද උන්වහන්සේ කථාකොට: සැබවින් ඔව්හු මාගේ සෙනඟය, ද්‍රෝහිකමින් ක්‍රියානොකරන දරුවෝයයි කීසේක. උන්වහන්සේද ඔවුන්ගේ ගැළවුම්කාරයා වූසේක.
9ඔවුන්ගේ සියලුම දුක්වලදී උන්වහන්සේ දුක්වූසේක, උන්වහන්සේගේ අභිමුඛය වන දූත තෙමේ ඔවුන් ගැළෙවුවේය. උන්වහන්සේ තමන්���ේ ප්‍රේමයෙනුත් දයාවෙනුත් ඔවුන් මුදා, පුරාණයේ සියලුම දවස්වල ඔවුන් උසුලා ගෙන ගියසේක.
10නුමුත් ඔව්හු කැරළිගසා, උන්වහන්සේගේ ශුද්ධාත්මයට දුක් ඉපදෙවුවෝය. ඒ නිසා උන්වහන්සේ ඔවුන්ට සතුරෙක් වී, උන්වහන්සේම ඔවුන්ට විරුද්ධව යුද්ධකළසේක.
11එවිට උන්වහන්සේ පුරාතන දවස්ද මෝසෙස් සහ තමන්ගේ සෙනඟද සිහිකළසේක. තමන්ගේ රැළේ එඬේරා සමඟ ඔවුන් මුහුදෙන් ගෙනා තැනන්වහන්සේ කොයිද? තමන් ශුද්ධාත්මය ඔවුන් මැද තැබූ තැනන්වහන්සේ කොයිද?
12මෝසෙස්ගේ දකුණත ළඟ ස්වකීය තේජවත් බාහුව යන්ට සැලැස්සුවාවූ, තමන්ට සදාකාල නාමයක් ලබාගැනීමට ඔවුන් ඉදිරියෙන් ජලය බෙදා,
13කාන්තාරයෙහි යන අශ්වයෙකු මෙන් නොපැකිලෙන හැටියට ඔවුන් ගැඹුරු මැදින් ගෙන ගියාවූ තැනන්වහන්සේ කොයිද?
14ගවරැළ මිටියාවතට බසින්නාක්මෙන් ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔවුන් නිශ්චල භාවයට පැමිණෙවුසේක. තේජවත් නාමයක් ලබාගැනීමට ඔබ එසේ ඔබගේ සෙනඟ ගෙනගියසේක.
15ස්වර්ගයේ සිට ඇස් යොමා, ඔබගේ ශුද්ධකම සහ තේජසේ නිවාසයේ සිට බැලුව මැනව. ඔබගේ ජ්වලිතකම සහ බලවත් ක්‍රියා කොයිද? මා කෙරෙහි වූ ඔබගේ දයාවද අනුකම්පාද නැවතී තිබේ.
16මක්නිසාද ඔබ අපේ පියාණෝය, ආබ්‍රහම් අප නොදන්න නුමුත්, ඉශ්රායෙල් අප නාඳුනන නුමුත්, ස්වාමීන්වහන්ස, ඔබම අපේ පියාණෝය, අපේ මිදුම්කාරයාණෝය; එය පුරාණයේ සිට ඔබගේ නාමයය.
17ස්වාමීන්වහන්ස, ඔබගේ මාර්ගවලින් අප මුළාවයන්ටත් ඔබ කෙරෙහි භය නොවන සේ අපේ සිත් දැඩිවෙන්ටත් හරින්නේ මක්නිසාද? ඔබගේ උරුම-ගෝත්‍ර වන ඔබගේ මෙහෙකරුවන් නිසා හැරී අව මැනව.
18ස්වල්ප කලකට ඔබගේ ශුද්ධවූ සෙනඟ එය භුක්තිවින්දෝය. අපේ එදිරිකාරයෝ ඔබගේ ශුද්ධස්ථානය පාගාදැමුවෝය.
19අපි ඔබ විසින් කිසිකලක ආණ්ඩු නොකළවුන් මෙන්ද ඔබගේ නාමය නොදැරූ අය මෙන්ද වී සිටිමුව.