Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
15 verses
1ස්වාමීන්වහන්සේ මෙසේ කී සේක: නුඹ ගොස් කුම්භකාරයෙකුගේ මැටි කළයක් මිළේටගෙන, සෙනඟගේ වැඩිමහල්ලන්ගෙන්ද පූජකයන්ගේ වැඩිමහල්ලන්ගෙන්ද සමහරුන් කැඳවාගෙන,
2හාර්සිත් නම් දොරටුව ළඟ තිබෙන හින්නොම් පුත්‍රයාගේ මිටියාවතට පැමිණ මා විසින් නුඹට කියන වචන එහිදී ප්‍රකාශකරමින් මෙසේ කියන්න:
3යූදාහි රජවරුනි, යෙරුසලමේ වැසියෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ, සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-අසන සියල්ලන්ගේ කන් ලෙළදෙන තරමට මේ ස්ථානය පිටට විපත්ති පමුණුවමි.
4මක්නිසාද ඔවුන් මා අත්හැර, මේ ස්ථානය අන්‍ය එකක් කර, ඔවුන්වත් ඔවුන්ගේ පියවරුන්වත් යූදාහි රජුන්වත් දැන නොගත් අන් දෙවිවරුන්ට මෙහි සුවඳ දුම් ඔප්පුකර, නිර්දෝෂයන්ගේ ලේවලින් මේ ස්ථානය පුරවා තිබේ.
5තවද ඔවුන් තමුන්ගේ පුත්‍රයන් බාල්ට දවන පූජා කොට ගින්නෙහි පුලුස්සන පිණිස බාල්ට උස්තැන් ගොඩනගා තිබේ. මා එය අණකළේවත් කීවේවත් එය මාගේ සිතට පැමුණුණේවත් නැත.
6එබැවින් මේ ස්ථානයට තෝපෙත්ය කියාවත් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතය කියාවත් තවත් නොකියා, මැරීමේ මිටියාවතය කියන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
7මම යූදාහිද යෙරුසලමේද මන්ත්‍රණය මේ ස්ථානයේදී හිස්කර, ඔවුන්ගේ සතුරන්ගේ කඩුවෙන්ද ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන්ගේ අත්වලින්ද ඔවුන් වැටෙන්ට සලස්වා, ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරු කොට දෙන්නෙමි.
8මම මේ නුවර විස්මයක්ද කවටකමක්ද කරන්නෙමි; ඒ ළඟින් යන සියල්ලෝ විස්මපත්වී, ඊට පැමුණුණු සියලු විපත්ති ගැන කවටකම්කරන්නෝය.
9තමුන්ගේ පුත්‍රයන්ගේ මාංසද දූවරුන්ගේ මාංසද ඔවුන් විසින් කන්ට සලස්වන්නෙමි; ඔවුන්ගේ සතුරන්ද ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන්ද ඔවුන්ට කරන අමාරුවේදීත් තද පීඩාවේදීත්, ඔව්හු එකිනෙකාගේ මාංස කන්��ෝයයි කියන්න.
10තවද නුඹ සමඟ යන මනුෂ්‍යයන් ඉදිරියේදී කළය බිඳ, ඔවුන්ට මෙසේ කියන්න:
11සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-නැවත හරිගස්සන්ට බැරිලෙස කුම්භකාරයාගේ භාජනය බිඳදමන්නාක්මෙන්ම මම මේ සෙනඟත් මේ නුවරත් බිඳදමන්නෙමි. වළලන්ට ඉඩක් නැතිවෙන තුරු තෝපෙත්හි මිනී වළලනු ලැබේ.
12මම මේ ස්ථානයටත් මෙහි වැසියන්ටත් එසේකොට, මේ නුවර තෝපෙත් මෙන් කරන්නෙමි.
13යම් යම් පියසි උඩ මුළු අහස් සේනාවට සුවඳ දුම් ඔප්පුකරන්ටත් අන් දෙවිවරුන්ට පාන පූජා වගුරුවන්ටත් යෙදුණේද, අපවිත්‍රවූ ඒ සියලු ගෙවල් වන යෙරුසලමේ ගෙවල්ද යූදාහි රජවරුන්ගේ ගෙවල්ද තෝපෙත් යන ස්ථානය මෙන් වන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
14ඉක්බිති යෙරෙමියා අනාගතවාක්‍ය කියන්ට ස්වාමීන්වහන්සේ විසින් ඔහු යැවූ තෝපෙත්හි සිට ඇවිත් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවේ සිට මුළු සෙනඟට කථාකොට:
15ඉශ්‍රායෙල්ගේ දෙවිවූ, සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක්: බලව, මම මේ නුවරටත් ඊට අයිති සියලුම දනව්වලටත් විරුද්ධව කී මුළු විපත්තිය ඒවා පිටට පමුණුවන්නෙමි; මක්නිසාද ඔව්හු මාගේ වචන නාසන ලෙස තමුන්ගේ කුළල් දැඩිකර ගත්තෝයයි කීසේකැයි කීවෝය.