Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
28 verses
1එකල මත්තාන්ගේ පුත්‍රවූ ෂෙපතියාද පෂ්හූර්ගේ පුත්‍රවූ ගෙදලියාද ෂෙලෙමියාගේ පුත්‍රවූ යූකල්ද මල්කියාගේ පුත්‍රවූ පෂ්හූර්ද යෙරෙමියා මුළු සෙනඟට කී වචන ඇසුවෝය.
2එනම්, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මේ නුවර නවතින අය කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද මැරෙන්නෝය. පිටතට කල්දිවරුන් වෙතට යන අය ජීවත්වන්නෝය, මෙසේ ඔහු ජීවත්වන ලෙස ඔහුගේ ප්‍රාණය ඔහුට කොල්ලයක් මෙන් ලැබෙන්නේය.
3සැබවින් මේ නුවර බබිලෝනියේ රජුගේ සේනාව අතට අසුවී ඔහු ඒක අල්ලාගන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක යනුය.
4අධිපතීහු රජුට කථාකොට: මේ මනුෂ්‍යයා මරනු ලැබේවා; මක්නිසාද මෙසේ මෙබඳු වචන කීමෙන් මොහු නුවර ඉතුරුව සිටින යුද්ධකාරයන්ගේ අත්ද මුළු සෙනඟගේ අත්ද බෙලහීනකරයි. එසේය, මේ මනුෂ්‍යයා මේ සෙනඟට ශුභසිද්ධිය නොව අන්තරායකරන්ට හදන්නේයයි කීවෝය.
5ශෙදෙකියා රජද: මෙන්න, ඔහු නුඹලාගේ අතෙහිය. නුඹලාට විරුද්ධව කිසිවක් කරන්ට රජුට බැරියයි කීවේය.
6එකල ඔව්හු යෙරෙමියා ගෙන හිරගෙයි මළුවෙහි තිබුණු රාජ පුත්‍රවූ මල්කියාගේ වළට ඔහු ලනුවලින් බැස්සෙවුවෝය. වළේ වතුර නොව මඩ තිබුණේය. යෙරෙමියා මඩේ එරුණේය.
7යෙරෙමියා වළේ දැමූ බව රජගෙදර සිටි නපුංසකයෙක්වූ කූෂීය එබෙද්මෙලෙක් අසා, බෙන්යමින් දොරටුවේ ඉඳගෙන හුන් රජු වෙතට,
8රජගෙයින් නික්ම ගොස් රජුට කථාකොට:
9මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මේ මනුෂ්‍යයන් විසින් වළේ දැමූ අනාගතවක්තෘවූ යෙරෙමියාට ඔවුන් කළ සියල්ල නපුරුය; ඔහු සිටින තැනදී බඩගින්නෙන් මැරෙනවා ඇත. මක්නිසාද නුවර තවත් කෑමට රොටි නැතැයි කීය.
10එවිට රජ කූෂීය එබෙද්-මෙලෙක්ට අණකර: නුඹ සමඟ මෙතැනින් මනුෂ්‍යයන් තිස්දෙනෙක් කැඳවාගෙන ගොස්, අනාගතවක්තෘවූ යෙරෙමියා මැරෙන්ට පළමුවෙන් ඔහු වළෙන් ගොඩට ගන්නැයි කීවේය.
11එබෙද්-මෙලෙක්ද ඒ මනුෂ්‍යයන් තමා සමඟ කැඳවාගෙන රජගෙදර ගබඩාව යටට වැද, එතනින් පරණ රෙදි කෑලිද පරණ වැරහැලිදගෙන, ඒවා වළ ඇතුළට යෙරෙමියා ළඟට ලනුවලින් බෑවේය.
12කූෂීය එබෙද්මෙලෙක්: මේ පරණ රෙදි කෑලි සහ වැරහැලි නුඹේ කිහිලිවල ලනු යට තබාගන්නැයි යෙරෙමියාට කීවේය. යෙරෙමියා එසේ කෙළේය.
13එවිට ඔව්හු යෙරෙමියා ලනුවලින් ඇද වළෙන් ගොඩට ගත්තෝය. යෙරෙමියා හිරගෙයි මළුවේ සිටියේය.
14එවිට ශෙදෙකියා රජ අනාගතවක්තෘවූ යෙරෙමියා ස්වාමීන්වහන්සේගේ ගෘහයේ තුන්වෙනි දොරටුවට තමා ළඟට ගෙන්වාගෙන, යෙරෙමියාට කථාකොට: මම නුඹෙන් කාරණයක් අසමි; කිසිවක් මාගෙන් නොසඟවන්නැයි කීය.
15මම ඔබට දැන්නුවොත් සැබවින් ඔබ මා නොමරන්නෙහිද? මා ඔබට දැනමුතුකම් දුන්නත් ඔබ මට ඇහුම්කන් දෙන්නේ නැතැයි යෙරෙමියා ශෙදෙකියාට කීවේය.
16එවිට ශෙදෙකියා රජ: මා විසින් නුඹ මරන්නේවත් නුඹේ ප්‍රාණය හානිකරන්ට සොයන ඒ මනුෂ්‍යයන් අතට නුඹ පාවාදෙන්නේවත් නැතැයි මේ ප්‍රාණය අපට මවාදුන් ස්වාමීන්වහන්සේගේ ජීවිතය ගැන දිවුරමියි කියා, යෙරෙමියාට රහසින් දිවුරුම්දුන්නේය.
17එකල යෙරෙමියා ශෙදෙකියාට කථාකොට: සේනාවල දෙවියන්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ ඇත්තටම බබිලෝනියේ රජුගේ අධිපතීන් ළඟට පිටතට ගියොත් නුඹේ ප්‍රාණය ජීවත්වන්නේය, මේ නුවරද ගිනිලනු නොලබන්නේය; නුඹත් නුඹේ වංශයත් ජීවත්වන්නෝය.
18එහෙත් නුඹ බබිලෝනියේ රජුගේ අධිපතීන් ළඟට පිටතට නොගියොත්, මේ නුවර කල්දිවරුන් අතට අසුවන්නේය, ඔව්හු ඒක ගිනිලන්නෝය, නුඹද ඔවුන්ගේ අතින් ගැළවෙන්නේ නැතැයි කීවේය.
19කල්දිවරුන්ට එකතුවූ යුදෙව්වන් මට සරදම්කරන පිණිස ඔවුන් අතට මා පාවාදේදෝ කියා ඔවුන්ට භයවෙමියි ශෙදෙකියා රජ යෙරෙමියාට කීවේය.
20එවිට යෙරෙමියා: ඔවුන් නුඹ පාවාදෙන්නේ නැත. මා විසින් ඔබට කියන හැටියට ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවුණ මැනවි; එයින් නුඹට ශුභසිද්ධවී නුඹේ ප්‍රාණය ජීවත්වන්නේය.
21එහෙත් නුඹ යන්නේ නැතැයි කියතොත්, ස්වාමීන්වහන්සේ මට පෙන්වා තිබෙන වචනය මෙසේය:
22බලව, යූදාහි රජුගේ ගෙදර ඉතුරුව සිටින සියලු ස්ත්‍රීන් බබිලෝනියේ රජුගේ අධිපතීන් ළඟට ගෙනයනු ලබනවා ඇත, ඔවුන් කථාකොට-නුඹේ හිතමිත්‍රයෝ නුඹ පොළඹා නුඹෙන් ජයගත්තෝය. නුඹේ පාද මඩේ එරුණු විට ඔව්හු අහක්ව ගියෝයයි කියනවා ඇත.
23නුඹේ සියලු භාර්යාවන්ද දරුවන්ද කල්දිවරුන් ළඟට ගෙනයන්ට යෙදෙනවා ඇත. නුඹත් ඔවුන්ගේ අතින් නොගැළවී බබිලෝනියේ රජු අතට අසුවන්නෙහිය. නුඹ මේ නුවරත් ගිනිලන්ට සලස්වන්නෙහියයි කීවේය.
24ශෙදෙකියාද: මේ වචන කිසිවෙක් දැන නොගනීවා, එවිට නුඹ මරණයට පත්වන්නේ නැත.
25නුමුත් මා නුඹ සමඟ කථාකළ බව අධිපතීහු අසා නුඹ ළඟට ඇවිත්: නුඹ රජුට කීවේ මොකද කියාත් රජු නුඹට කීවේ මොකද කියාත් අපෙන් නොසඟවා අපට දන්වන්න, එවිට අපි නුඹ නොමරන්නෙමුයයි නුඹට කීවොත්-
26මා යොනාතාන්ගේ ගෙයි නොමැරෙන පිණිස එහි මා නැවත නාරින ලෙස මාගේ කන්නලව්ව රජ්ජුරුවන් ඉදිරියෙහි ඔප්පුකෙළෙමියි කියන්නැයි යෙරෙමියාට කීවේය.
27එවිට සියලු අධිපතීහු යෙරෙමියා ළඟට ඇවිත් ඔහුගෙන් විචාළෝය. රජු අණකළ මේ සියලු වචනවල හැටියට ඔහු ඔවුන්ට දැන්නුවේය. ඔව්හු නිශ්ශබ්දවී ඔහු වෙතින් ගියෝය; මක්නිසාද ඒ කාරණය දැනගන්ට යෙදුණේ නැත.
28මෙසේ යෙරෙමියා යෙරුසලම අසුවුණ දවස දක්වා හිරගෙයි මළුවේ සිටියේය.