Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
13 verses
1යෙරෙමියා මුළු සෙනඟට ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු ලවා ඔවුන්ට කියා ඇරියාවූ ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු වචන වන ඒ සියලු වචන කියා තීන්දුවුණු විට,
2හෝෂායාගේ පුත්‍රවූ අසරියාද කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද උඩඟුවූ සියලු මනුෂ්‍යයෝද යෙරෙමියාට කථාකොට: නුඹ බොරු කියන්නෙහිය. මිසරයෙහි පොරොත්තුව සිටීමට එහි යන්ට එපායයි කියන්ට අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ එවුවා නොව,
3කල්දිවරුන් විසින් අප මරන්ටත් බබිලෝනියට අප අල්ලා ගෙනයන්ටත් ඔවුන්ගේ අතට අප පාවාදෙන පිණිස නේරියාගේ පුත්‍රවූ බාරුක් අපට විරුද්ධව නුඹ පොළඹවන්නේයයි කීවෝය.
4මෙසේ කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද සේනාවල සියලු අධිපතීහුද මුළු සෙනඟද යූදා දේශයෙහි සිටින පිණිස ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවූහ.
5නුමුත් කාරේයාගේ පුත්‍රවූ යොහානාන් සහ සේනාවල සියලු අධිපතීහුද යූදාවරු යම් යම් ජාතීන් අතරට පන්නනු ලැබුවාහුද, යූදා දේශයෙහි සිටීමට ඒ සියලු ජාතීන් අතරෙන් හැරී ආවාවූ ඉතිරිව සිටි සියලු යූදාවරුන් වන,
6පුරුෂයන්ද ස්ත්‍රීන්ද දරුවන්ද රජුගේ දූවරුන්ද රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් විසින් ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ගේ පුත්‍රයා වන ගෙදලියා වෙත නවත්වා ගියාවූ සියලු ප්‍රාණීන්ද අනාගතවක්තෘවූ යෙරෙමියාද නේරියාගේ පුත්‍රවූ බාරුක්ද රැගෙන,
7ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවී, මිසර දේශයට පැමිණියෝය. තවද ඔව්හු තාපන්හේස් දක්වා ගියෝය.
8එකල තාපන්හේස්හිදී ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය:
9නුඹේ අතින් ලොකු ගල් රැගෙන යූදාවරුන් බලා සිටියදී තාපන්හේස්හි ඵාරාවෝගේ ගෘහයේ දොරටුවෙහි තිබෙන ගඩොල් වැඩේ බදාම තුළ සඟවා තබා,
10ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-බලව, මම මිනිසුන් යවා මාගේ සේවකයා වන ���බිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් ගෙන්වා, මා විසින් සඟවා තැබූ මේ ගල් පිට ඔහුගේ සිංහාසනය තබන්නෙමි; ඔහුද තමාගේ රාජකීය සේසත ඒවා උඩ තබනවා ඇත.
11ඔහු ඇවිත් මිසර දේශයට පහරදෙනවා ඇත; මරණයට නියමවූ අය මරණයටත් වාල්කමට නියමවූ අය වාල්කමටත් කඩුවට නියමවූ අය කඩුවටත් අසුවන්නෝය.
12මමද මිසරයේ දෙවිවරුන්ගේ ගෘහවල ගින්නක් දල්වන්නෙමි; ඔහු ඒවා දවාදමා, රැගෙන ගොස්, එඬේරෙක් තමාගේ ඇඳුම පෙරවාගන්නාක් මෙන් මිසර දේශයේ පෙරවාගෙන, එතැනින් සමාදානයෙන් පිටත්ව යන්නේය.
13ඔහු මිසර දේශයේ තිබෙන බෙත්-ෂෙමෙෂ්හි කුළුනු බිඳදමන්නේය; මිසරයේ දෙවිවරුන්ගේ ගෘහද ගින්නෙන් දවන්නේයයි ඔවුන්ට කියන්නැයි කීය.