Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
22 verses
1ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඒ කාලයෙහි යූදා රජවරුන්ගේ ඇටද ඔවුන්ගේ අධිපතීන්ගේ ඇටද පූජකයන්ගේ ඇටද අනාගතවක්තෘවරුන්ගේ ඇටද යෙරුසලමේ වැසියන්ගේ ඇටද ඔවුන්ගේ සොහොන්ගෙවලින් එළියට ගෙනැවිත්,
2ඔවුන් ප්‍රේමකළාවූ, සේවයකළාවූ, අනුව ගියාවූ, පේන අසාගත්තාවූ, නමස්කාරකළාවූ ඉරත් සඳත් මුළු අහස් සේනාවත් ඉදිරියෙහි ඒවා අතුරා තබන්නෝය. ඒවා එකතුකරන්ටවත් වළලන්ටවත් නොයෙදී, භූමිය මතුපිට කසළ වන්නේය.
3මේ නපුරු පෙළපතින් ඉතුරුවෙන අය, මා විසින් පන්නා දැමූ සෑම තැන්වල ඉතුරුවෙන ඔවුන් සියල්ලෝම, ජීවත්වීමට වඩා මරණය තෝරා ගන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
4තවද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න: වැටෙන අය නැගිටින්නේ නැද්ද? නොහොත් අහකට ගිය අය හැරී එන්නේ නැද්ද?
5යෙරුසලමේ මේ සෙනඟ නිරන්තරයෙන් අහක්ව සිටින හැටියට අහක්ව ගියේ මක්නිසාද? ඔව්හු වංචාව තදින් අල්වාගෙන: අපි හැරෙන්නේ නැතැයි කියති.
6මම ඇහුම්කන්දී ඇසීමි, නුමුත් ඔව්හු යුතුලෙස කථා නොකළෝය. මා කෙළේ කුමක්දැයි කියා තමාගේ දුෂ්ටකම ගැන පසුතැවිලිවෙන කෙනෙක් නැත. අශ්වයා යුද්ධයට වේගයෙන් දුවන්නාක්මෙන් ඔවුන් සියල්ලෝම තමුන්ගේ දිවීමට හැරීයති.
7එසේය, ආකාශයේ මානකොකා උගේ කාලයන් දනියි; කොබෙයියාද වැහිලිහිණියාද කොකාද උන්ගේ ඊමේ කාලය දැන සිටිති; නුමුත් මාගේ සෙනඟ ස්වාමීන්වහන්සේගේ විනිශ්චය නොදනිති.
8අපි ප්‍රඥාවන්තයෝය, ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව අප වෙත ඇත්තේයයි නුඹලා කියන්නේ කොහොමද? එහෙත්, බලව, ලියන්නන්ගේ බොරු පන්හිඳ ඒ ව්‍යවස්ථාව බොරුවක් කර තිබේ.
9ප්‍රඥාවන්තයෝ ලජ්ජාවට පැමිණ කැලඹී අසුවුණෝය. මෙන්න, ඔව්හු ස්වාමීන්වහන්සේගේ වචනය එපාකළෝය; ඔවුන් තුළ ඇති ප්‍රඥාව කුමක්ද?
10එබැවින් ඔවුන්ගේ භාර්යාවන් අන්‍යයන්ටද ඔවුන්ගේ කෙත් ඒවා අල්ලාගන්නන්ටද දෙන්නෙමි. මක්නිසාද කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම අයුතු ලාභය පස්සේ යති, අනාගතවක්තෘ පටන් පූජකයා දක්වා සියල්ලෝම ප්‍රයෝගකරති.
11සමාදානය නැතුව තිබෙද්දී: සමාදානයය, සමාදානයය කියා මාගේ දියණිය වන සෙනඟගේ තුවාලය ඔව්හු මඳක් සුවකර තිබේ.
12ඔව්හු පිළිකුල් දේ කළ නිසා ලජ්ජා වූවෝද? නැත, ඔවුන් කොහෙත්ම ලජ්ජාවුණේවත් ඔවුන්ට නින්දාව දැනුණේවත් නැත. එබැවින් වැටෙන්නන් අතරෙහි ඔවුන් වැටෙනවා ඇත. ඔවුන්ට දඬුවම් පැමිණෙන කාලයෙහි ඔවුන් පැකිල වැටෙනවා ඇතැයි ස්වාන්වහන්සේ කියනසේක.
13මම සහමුලින්ම ඔවුන් විනාශකරන්නෙමි; මිදි වැළේ වලු නැත, අත්තික්කා ගහේ ඵල නැත, එහි කොළද වියළීයන්නේය; මමද ඔවුන් පාගාදමන අය ඔවුන් ගැන නියමකෙළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
14අපි කුමට නිකම් හිඳිමුද? නුඹලා රැස්වෙන්න, අපි පවුරු ඇති නුවරවලට වැද එහි නිශ්ශබ්දව සිටිමුව. මක්නිසාද අප ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළ නිසා අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප විනාශයට පත්කොට වසදිය අපට පොවා තිබේ.
15සමාදානය ගැන බලා සිටියෙමුව, නුමුත් කිසි හොඳක් නැත; සුවවීමේ කාලයක් ගැන බලා සිටියෙමුව, නුමුත් අහෝ! භීතිය ඇත්තේය,
16දාන්හි සිට ඔහුගේ අශ්වයන්ගේ හුංකාරය ඇසෙයි. ඔහුගේ බලවතුන්ගේ හේෂාරවයට මුළු දේශය වෙවුලයි; මක්නිසාද ඔව්හු ඇවිත් දේශය සහ එහි තිබෙන සියල්ලද නුවර සහ එහි වැසියන්ද නාස්ති කළෝය.
17මක්නිසාද, මෙන්න, මම කිසි මන්ත්‍රයකට නොහික්මෙන සර්පයන්ද පොළඟුන්ද නුඹලා අතරට එවන්නෙමි; උන් නුඹලාට දෂ්ටකරනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
18අහෝ මාගේ දුක සනසාගන්ට බැරි තරම්ය! මාගේ සිත මා තුළ ක්ලාන්තවී තිබේ.
19බලව, ස්වාමීන්වහන්සේ සියොන්හි නැද්ද? ඇගේ රජ්ජුරුවෝ ඈ තුළෙහි නැද්දැයි අසන මාගේ දියණිය වන සෙනඟගේ විලාප හඬ ඉතා දුර දේශයකින් ඇසෙන්නේය. ඔව්හු තමුන්ගේ කැපූ පිළිමවලින්ද අන්‍යයන්ගේ නිෂ්ඵල රූපවලින්ද කුමට මා කෝපකළෝද?
20ගොයම් කපන කාලය පසුවිය, ග්‍රීෂ්ම කාලය කෙළවරවිය, එහෙත් අපි නොගැළවුණෙමුව.
21මාගේ දියණිය වන සෙනඟගේ තුවාලය නිසා මම තුවාල ලැබ ශෝකයට පැමුණුණෙමි. විස්මපත්කම මා අල්ලාගත්තේය.
22ගිලියද්හි ගුගුල් නැද්ද? එහි වෙදෙක් නැද්ද? ඇත්නම් මාගේ දියණිය වන සෙනඟගේ සුවය ලැබී නැත්තේ මක්නිසාද?