Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
22 verses
1යෝබ් නම්වූ මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි සිටියේය; ඒ මනුෂ්‍යයා වනාහි නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටියාවූ කෙනෙකි.
2ඔහුට පුත්‍රයන් සත්දෙනෙක්ද දූවරුන් තුන්දෙනෙක්ද උපන්නෝය.
3ඔහුගේ සම්පත් නම් බැටළුවන් සත් දහසකුත් ඔටුවන් තුන් දහසකුත් ගොන් බාන් පන්සියයකුත් කොටළුදෙනුන් පන්සියයකුත් වැඩකාරයන් ඉතා මහත් ගණනකුත්ය; මෙසේ ඒ මනුෂ්‍යයා නැගෙනහිර දිශාවේ සියලු මනුෂ්‍යයන්ට වඩා ශ්‍රේෂ්ඨව සිටියේය.
4තවද ඔහුගේ පුත්‍රයෝ ගොස් එකිනෙකා තම තමාගේ දවසේ, තම තමාගේ ගෙදරදී, මංගල්‍යයක් පවත්වන්ටත් තමුන් සමඟ කෑම බීම පිණිස තමුන්ගේ සහෝදරියන් තුන්දෙනාට අඬගස්වා අරින්ටත් පුරුදුව සිටියෝය.
5ඔවුන්ගේ මංගල්‍ය දවස් ගතවූ පසු යෝබ් පණිවිඩ යවා ඔවුන් පිරිසිදුකරවා, පසුවදා අලුයම නැගිට ඔවුන් සියල්ලන්ගේ ගණන ලෙස දවන පූජා ඔප්පුකෙළේය. මක්නිසාද: සමහරවිට මාගේ පුත්‍රයන් පව්කොට, තමුන්ගේ සිත්වලින් දෙවියන්වහන්සේට දොස් කීවා වෙන්ට පුළුවනැයි යෝබ් කීවේය. යෝබ් සෑමවිටම මෙසේ කෙළේය.
6තවද එක් දවසක දෙවියන්වහන්සේගේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පෙනීසිටින්ට ආ කල්හි සාතන්ද1:6 එනම්, එදිරිකාරයා. ඔවුන් අතරෙහි ආයේය.
7එවිට ස්වාමීන්වහන්සේ: ඔබ කොතැන සිට ආයෙහිදැයි සාතන්ගෙන් ඇසූසේක. සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: පොළොවෙහි ගමන්කොට ඔබ මොබ ඇවිද ආවෙමියි කීවේය.
8එවිට ස්වාමීන්වහන්සේ: ඔබ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනාකෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ මනුෂ්‍යයෙක් පොළොවෙහි නැතැයි කීසේක.
9සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: යෝබ් දෙවියන්වහන්සේ කෙරෙහි භයවන්නේ නිකමටද?
10ඔබවහන්සේ ඔහු වටකරත් ඔහුගේ ගෙදර වටකරත් ඔහුට ඇති සියල්ල වටකරත් හැම අතින්ම වැට බැඳ තිබෙනවා නොවේද? ඔබ ඔහුගේ අත් වැඩට ආශීර්වාදකළසේක, ඔහුගේ සම්පත්ද දේශයෙහි වර්ධනයවී තිබේ.
11නුමුත් ඔබගේ අත දිගුකර ඔහුට ඇති සියල්ලට ගැසුවොත් ඔහු ���බගේ මුහුණ ඉදිරියෙහිම ඔබ අත්හරිනවා ඇතැයි කීවේය.
12එවිට ස්වාමීන්වහන්සේ සාතන්ට කථාකොට: බලව, ඔහුට ඇති සියල්ල ඔබේ අත යටතේය; නුමුත් ඔහුට විරුද්ධව නම් ඔබේ අත දිගු නොකරන්නැයි කීසේක. සාතන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පිටතට ගියේය.
13තවද එක් දවසක් ඔහුගේ පුත්‍රයන් හා දූවරුන් තමුන්ගේ වැඩිමහල් සහෝදරයාගේ ගෙදර ආහාර ගනිමින් මුද්‍රිකපානය බොමින් සිටියදී මෙසේ සිද්ධවිය.
14පණිවිඩකාරයෙක් යෝබ් වෙතට ඇවිත්: ගවයන් සීසාමින්ද උන් ළඟ කොටළු දෙනුන් තණ කමින්ද සිටින අතර
15ෂෙබාවරු හදිසියෙන් ඇවිත් උන් අල්ලාගෙන ගියෝය; මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.
16ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: දෙවියන්වහන්සේගේ ගිනි අහසෙන් වැටී බැටළුවන්ටත් මෙහෙකරුවන්ටත් ඇවිළී, ඔවුන් දවා දැමුවේය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.
17ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: කල්දිවරු කණ්ඩායම් තුනක් සෑදී ඔටුවන් ළඟට පැමිණ උන් අල්ලාගෙන ගියෝය, මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.
18ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: ඔබගේ පුත්‍රයන් සහ දූවරුන් තමුන්ගේ වැඩිමහල් සහෝදරයාගේ ගෙයි කමින්ද මුද්‍රිකපානය බොමින්ද සිටියදී,
19තද හුළඟක් කාන්තාරයට එහායින් ඇවිත් ගෙයි සතර කොනට වැදී, ඒක තරුණයන් පිට වැටුණේය, ඔව්හු මැරුණෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.
20එවිට යෝබ් නැඟිට, තමාගේ සළුව ඉරාගෙන, ඉස මුඩුකරගෙන, බිම වැටී වැඳ:
21නග්නව මාගේ මවු කුසින් ආවෙමි, එසේම නග්නව හැරී යන්නෙමි. ස්වාමීන්වහන්සේ දුන්සේක, ස්වාමීන්වහන්සේ ගත්සේක; ස්වාමීන්වහන්සේගේ නාමයට ප්‍රශංසාවේවයි කීවේය.
22මේ සියල්ලේදී යෝබ් පව්කෙළේවත් අඥානකමින් දෙවියන්වහන්සේට දොස් තැබුවේවත් නැත.