Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
30 verses
1එකල තේමානිය එලීපස් උත්තරදෙමින් කියනුයේ:
2මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේට ප්‍රයෝජනවිය හැකිද? සැබවින් නුවණ ඇති තැනැත්තේ තමාටම ප්‍රයෝජනවත්ව සිටියි.
3ඔබ ධර්මිෂ්ඨව සිටියත් සර්වපරාක්‍රමයාණන්ට එයින් කිසි සතුටක් ඇද්ද? ඔබ ඔබේ මාර්ග සම්පූර්ණකරගත්තත් එයින් උන්වහන්සේට කිසි ලාභයක් ඇද්ද?
4උන්වහන්සේ ඔබට තරවටුකර ඔබ සමඟ විනිශ්චයට පැමිණෙන්නේ ඔබේ භක්තිය නිසාද?
5ඔබේ දුෂ්ටකම මහත්ව තිබෙනවා නොවේද? ඔබේ අයුතුකම්වලට කෙළවරක් නැත.
6මක්නිසාද ඔබ කාරණයක් නැතුව ඔබේ සහෝදරයාගෙන් උකස් ගත්තෙහිය, ඇඳුම් නැත්තන්ගෙන් වස්ත්‍රය උදුරා ගත්තෙහිය.
7ක්ලාන්ත අයට ඔබ බොන්ට වතුර නුදුන්නෙහිය, බඩගිනි අයට කෑම නොදී සිටියෙහිය.
8නුමුත් බලවතාට දේශය අයිති විය; ගරුකටයුතු තැනැත්තේද එහි වාසයකෙළේය.
9ඔබ වැන්දඹුවක් හිස් අතින් ඇරියෙහිය, පියා නැත්තන්ගේ අත්ද කඩනලද්දේය.
10ඒ නිසා ඔබ වටකර මළපත් තිබෙයි, හදිසි භීතිය ඔබ කලඹන්නේය,
11නොහොත් ඔබට නොපෙනෙන හැටියට අන්ධකාරයද ජල රාශියද ඔබ වසාගන්නේය.
12දෙවියන්වහන්සේ ස්වර්ගයේ උසස් තැන්හි නොසිටිනසේක්ද? මුදුන්ම තාරකාව කොපමණ උසදැයි බලන්න!
13ඔබ කථාකොට: දෙවියන්වහන්සේ දන්නේ කුමක්ද? ඝනාන්ධකාරය මැදින් සිට උන්වහන්සේට විනිශ්චයකරන්ට පුළුවන්ද?
14උන්වහන්සේට නොපෙනෙන හැටියට ඝන වලාකුල් උන්වහන්සේට මුවාවක්ව තිබේ; උන්වහන්සේ ආකාශ කුක්ෂිය මත්තෙහි ගමන්කරනසේකැයි කියන්නෙහිය.
15දුෂ්ට මනුෂ්‍යයන් ඇවිද්දාවූ පුරාණ මාවතෙහිම ඔබ හැසිරෙන්නෙහිද?
16ඔව්හු නියම කාලයට පළමුවෙන් උදුරාගනු ලැබුවෝය, ඔවුන්ගේ අත්තිවාරමද ජලප්‍රවාහයකින් මෙන් ගහගන ගියේය.
17අප වෙතින් අහක්ව ගිය මැනව කියාත් සර්වපරාක්‍රමයාණන් අපට මක්කරනවා ඇද්ද කියාත් ඔව්හු දෙවියන්වහන්සේට කීවෝය.
18එහෙත් උන්වහන්සේ යහපත් දෙයින් ඔවුන්ගේ ගෙවල් පිරෙවුසේක. නුමුත් දුෂ්ටයන්ගේ මන්ත්‍රණය මාගෙන් දුරුව තිබේ.
19ධර්මිෂ්ඨයෝ ඒ දැක සන්තෝෂවෙති; නිර්දෝෂ අය අපහාසයෙන් ඔවුන්ට සිනාසී:
20අපට විරුද්ධව නැගුටුණු අය සැබවින් සිඳිනු ලැබුවෝය, ඔවුන්ගේ ඉතිරිවූ දෙය ගින්නෙන් දාලා ගියේයයි කියති.
21ඉතින් උන්වහන්සේ ඇඳිනගෙන සමාදානවෙන්න. එයින් ඔබට ශුභසිද්ධ වන්නේය.
22උන්වහන්සේගේ මුඛයෙන් ව්‍යවස්ථාව පිළිගෙන, උන්වහන්සේගේ වචන ඔබේ හිතේ තබාගන්න.
23ඔබ සර්වපරාක්‍රමයාණන් වෙතට හැරී, අධර්මිෂ්ඨකම ඔබේ කූඩාරම්වලින් පහකළොත්, ඔබ පිහිටුවනු ලබන්නෙහිය.
24ඔබේ ලෝභ වස්තුව ධූලියෙහිද ඕපීර්හි රන් දොළවල ගල් අතරේද දමන්න;
25එවිට සර්වපරාක්‍රමයාණෝ ඔබේ වස්තුවද ඔබට අනර්ඝ රිදීද වනසේක.
26මක්නිසාද එකල ඔබ සර්වපරාක්‍රමයාණන් කෙරෙහි ප්‍රීතිමත්වී, ඔබේ මුහුණ දෙවියන්වහන්සේ දෙසට ඔසවනවා ඇත.
27ඔබ උන්වහන්සේට යාච්ඤාකරන කල උන්වහන්සේ ඔබට උත්තර දෙනවා ඇත; ඔබද ඔබේ භාර ඉෂ්ටකරනවා ඇත.
28ඔබ කාරණයක් නියමකරගත් කල්හි ඒක ඔබට ස්ථිරවන්නේය; ඔබේ මාර්ග කෙරෙහිද එළිය බැබළෙන්නේය.
29ඔවුන් පහකරනු ලබන විට: උසස්වීම ඇත කියා ඔබ කියන්නෙහිය; උන්වහන්සේද යටහත් ඇස් ඇති අය ගළවනසේක.
30නිදොස් නොවන තැනැත්තා පවා උන්වහන්සේ මුදනසේක; එසේය, ඔබේ අත්වල පිරිසිදුකම නිසා ඔහු මුදනු ලැබේයයි කීවේය.