Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
28 verses
1සැබවින් රිදී තිබෙන ආකරයක්ද පිරිසිදුකරන රනට ස්ථානයක්ද තිබේ.
2යකඩ පොළොවෙන් හාරාගනු ලැබේ. ගල් උණුකර පිත්තල ලබාගනිති.
3මනුෂ්‍යයා අන්ධකාරය පහකොට ඝනාන්ධකාරයෙත් මරණ සෙවණෙත් ගල් තීන්දුවටම සොයයි.
4මිනිසුන් වාසයකරන තැනට දුරින් ඔහු පොළොව හාරා බසියි; ඔව්හු මනුෂ්‍යයන්ගෙන් ඈත්ව, පාදයට නොදැනෙන හැටියට එල්ලී ඉඳ එහා මෙහා පදිති.
5පොළොවෙන් කෑම හටගනියි. නුමුත් ඇතුළත ගින්නෙන් මෙන් පෙරළා තිබේ.
6ඒකේ ගල් අතරේ නීලමාණික්‍යද රන් සුණුද තිබේ.
7ඒ මාවත කිසි පක්ෂියෙක් නොදනියි, උකුස්සාගේ ඇසට ඒක නොපෙනුණේය.
8චණ්ඩ මෘගයෝ එහි පය නොතැබුවෝය, රෞද්‍ර සිංහයෙක්ද ඒ ළඟින් නොගියේය.
9ඔහු තමාගේ අත ගිනිගල් පර්වතයට විරුද්ධව දිඟුකොට, කඳු මුලින්ම පෙරළන්නේය.
10ඔහු පර්වතවල දිය පාරවල් කපා සියලු ආකාර අනර්ඝ දේ තමාගේ ඇසින් දකින්නේය.
11නොවැස්සෙන හැටියට ඔහු ගංගා අහුරයි; සැඟවී තිබෙන දේ එළියට ගෙනෙයි.
12නුමුත් ප්‍රඥාව සම්බවන්නේ කොතැන්හිද? නුවණ තිබෙන තැන කොහේද?
13මනුෂ්‍යයා ඒකේ අගය නොදනියි; ජීවතුන්ගේ දේශයෙහි ඒක සම්බනොවෙයි.
14ඒක මා තුළ නැතැයි ගැඹුර කියන්නේය. ඒක මා වෙත නැතැයි මුහුදත් කියන්නේය.
15රත්රන් දීලා ඒක ගන්ට බැරිය, ඒකේ වටිනාකමට රිදී කිරා දීලාවත් එය ලබාගත නොහැකිය.
16ඒක ඕපීර්හි රනින්වත් අනර්ඝ නඛමාණික්‍යයෙන්වත් නීලකාන්තයෙන්වත් මිලකරන්ට බැරිය.
17රන්වන් වීදුරුවත් ඊට සමාන නොවේ; පවිත්‍ර රන් ආභරණවලට ඒක මාරුකරන්ට බැරිය.
18රතුකැට සහ පළිඟු සඳහන් කරන්ටවත් වුවමනා නැත. එසේය, ප්‍රඥාව මුතුවලටත් වඩා අගේය.
19කූෂ්හි පුෂ්පරාග ඊට සමාන නොවේ. පවිත්‍ර රනින් ඒකේ අගය නියමකරන්ට බැරිය.
20එසේ වී නම් ප්‍රඥාව පැමිණෙන්නේ කොතැනින්ද? නුවණ තිබෙන තැන කොහේද?
21ඒක පණ ඇති සියල්ලන්ගේ ඇස්වලට නොපෙනී, ආකාශ පක්ෂීන්ගෙන්ද සැඟවී තිබේ.
22ඒකේ කීර්තිය අපේ කන්වලින් ඇසීමුයයි විනාශයත් මරණයත් කියති.
23ඒකේ මාර්ගය දෙවියන්වහන්සේට තේරුම් තිබේ, එය තිබෙන ස්ථානයද උන්වහන්සේ දන්නාසේක.
24මක්නිසාද උන්වහන්සේ පොළොවේ කෙළවරවල් දක්වා බලා, අහස යට සියල්ල දකිනසේක.
25උන්වහන්සේ සුළඟ නිසි බරට හදන්ටත්, ජලයන් මිම්මකින් මනින්ටත්,
26වර්ෂාවට නියෝගයක්ද ගර්ජනාවේ විදුලියට මාර්ගයක්ද සාදන්ටත් යෙදුණු විට,
27උන්වහන්සේ ඒක දැක කියාදුන්සේක; ඒක ස්ථිරකර සෝදිසිකළසේක.
28උන්වහන්සේ මනුෂ්‍යයාට කථාකොට: ප්‍රඥාව නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයින් සිටීමත් නුවණ නම් නපුරෙන් වැලකී සිටීමත්යයි වදාළසේකැයි කීවේය.