Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
31 verses
1නුමුත් දැන් වයසින් මට වඩා බාලයෝ මට සරදම්කරති, ඔවුන්ගේ පියවරුන් මාගේ මෘග රැළේ බල්ලන් සමඟ සිටවන්ටවත් වටීයයි නොසිතුවෙමි.
2එසේය, ඔවුන්ගේ අත්වල ශක්තියෙන් මට ඇති කම මොකද? ඔව්හු වනාහි බලය පිරිහී ගියාවූ මනුෂ්‍යයෝය.
3හිඟකමද සාගතයද නිසා ඔව්හු කෘශව සිටිති; ඔව්හු පාළුවූ නිස්සාරවූ අඳුරු ඉඩම්වලදී, වියළි 30:3 නොහොත්, මරුකතරෙන් යන්තම් රක්ෂාවෙමින්. බිම්හි කෑම සොයමින්;
4ලුණු ගස් පඳුරු පිටින් උදුරාගනිති; රොතෙම් මුල් ඔවුන්ගේ කෑම වේ.
5ඔව්හු මනුෂ්‍යයන් අතරෙන් එළවනු ලබති; මනුෂ්‍යයෝ සොරෙකුට මෙන් ඔවුන්ට විරුද්ධව කෑගසමින් ඔවුන් ලුහුබඳිති.
6අඳුරු මිටියාවත් කුහරවලද පොළොවෙන් පර්වතවලත් ගුහාවලද ඔව්හු වාසයකෙරෙති.
7පඳුරු අතරේ ඔව්හු මොරගසති, කටුගස් යට ලගිති.
8ඔව්හු මෝඩයන්ගේ පුත්‍රයෝය; එසේය, නීචයන්ගේ පුත්‍රයෝය; ඔව්හු දේශයෙන් තල්ලුකරදමනු ලැබුවෝය.
9දැන් වනාහි මම ඔවුන්ගේ ගීතිකාව වී සිටිමි, එසේය, ඔවුන්ට නින්දා පාඨයක්ව සිටිමි.
10ඔව්හු මා පිළිකුල්කොට මාගෙන් දුරුවෙති, මාගේ මුහුණ ඉදිරියෙහි කෙළගසන්ට භය නැත්තෝය.
11උන්වහන්සේ තමන්ගේ පටිය ලිහා මට පීඩාකළ බැවින්, ඔව්හු මා ඉදිරියෙහි කටකලියාව අහක දැමුවෝය.
12මාගේ දකුණු පැත්තෙහි කොලු රැළක් නැගිටිති; ඔව්හු මාගේ පාද තල්ලුකරදමති, මට විරුද්ධව ඔවුන්ගේ විනාශකාර මාර්ග ගොඩකරති.
13ඔව්හු මාගේ පාර පෙරළාදමති, උදව්කාරයෙක් නැතුව සිටියදී, ඔව්හු මාගේ විපත්තිය වැඩිකරති.
14ඔව්හු පළල් කපල්ලකින් මෙන් වැද, බිඳුණු තැන මැදින් මා පිටට පෙරළී එති.
15භයානකකම් මා පිටට හැරී තිබේ; ඒවා සුළඟ මෙන් මාගේ ගරුත්වය ලුහුබැඳ එති; මාගේ ඉසුර වලාකුළක් මෙන් පහව ගියේය.
16දැන් මාගේ ආත්මය මා තුළ වැගිරෙයි; විපත්ති දවස් මා අල්ලාගත්තේය.
17රාත්රියේදී මාගේ ඇට මා තුළ සිදුරුවේ; මා විකාකන වේදනාවෝ විශ්‍රාම නොගනිති.
18මාගේ රෝගයේ තදකම නිසා මාගේ වස්ත්‍රය දුර්ව���්ණවී තිබේ. මාගේ සළුවේ කරපටිය මෙන් එය මා වටේ ඇලී තිබේ.
19උන්වහන්සේ මා මඩේ හෙළූසේක, මම දූවිලි සහ අළු මෙන් වී සිටිමි.
20මා ඔබට හඬගසන නුමුත් ඔබ මට උත්තර නොදෙනසේක; මා නැගිට සිටින නුමුත් ඔබ මා දෙස නිකම් බලාසිටිනසේක,
21ඔබ මට කෲරතර වී සිටිනසේක, ඔබගේ අතේ බලයෙන් මට පීඩාකරනසේක.
22ඔබවහන්සේ මා සුළඟට අසුකරදී, ගසාගන ගොස්, කුණාටුවෙන් දියවෙන්ට සලස්වනසේක.
23මක්නිසාද ඔබ මරණයටත් ජීවත්ව සිටින සියල්ලන්ට නියමවූ ගෙටත් මා පමුණුවන බව දනිමි.
24සැබවින් උන්වහන්සේ ජරාවාස පස් ගොඩකට විරුද්ධව තමන් අත දිගු නොකරනසේක; මේ කාරණා නිසා තමාගේ විනාශයේදී වුවත් යමෙකුට මොරගැසිය හැක්කේය.
25දුකට පත්වූ අය ගැන මා වැලපුණේ නැද්ද? දිළිඳුන් ගැන මාගේ ආත්මය ශෝක නොවීද?
26මා විසින් සැපත බලාසිටි කල විපත පැමිණියේය; එළිය ගැන බලාසිටිද්දී අන්ධකාරය පැමිණියේය.
27මාගේ බඩවැල් නොනැවතී චංචල වෙති; විපත්ති දවස් මා පිටට පැමිණ තිබේ.
28මම අව්වෙන් නොව ශෝකයෙන් කළුවී ඇවිදිමි; සභාවෙහි නැගිට පිහිට ඉල්ලා කෑ ගසමි.
29මම සිවලුන්ට සහෝදරයෙක්ද පැස්බරුන්ට සමාගම්කාරයෙක්ද වී සිටිමි.
30මාගේ හම කළුවී මා කෙරෙන් වැටෙන්නේය, මාගේ ඇට උෂ්ණයෙන් දැවෙන්නේය.
31එබැවින් මාගේ වීණාව වැලපීමටත් මාගේ නළාව හඬන්නන්ගේ ශබ්දයටත් මාරුවී තිබේ.