Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
35 verses
1එකල යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2ඒ එසේමයයි මම සැබවින් දනිමි. නුමුත් මනුෂ්‍යයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවන්නේ කෙසේද?
3උන්වහන්සේ ඔහු සමඟ විවාද කරන්ට කැමතිවුණොත්, උන්වහන්සේට දහසකින් එකකටවත් උත්තරදෙන්ට ඔහුට බැරිය.
4උන්වහන්සේ සිතින් ප්‍රඥාවන්තය, ශක්තියෙන් බලසම්පන්නය. උන්වහන්සේට විරුද්ධව සිත් දැඩි කරගන සමාදානයෙන් වර්ධනය වුණේ කවුද?
5උන්වහන්සේ හදිසියෙන්ම කඳු පහකර, තමන්ගේ උදහසින් ඒවා පෙරළා දමනසේක.
6උන්වහන්සේ පොළොව ඒකේ ස්ථානයෙන් සොලවා හරිනසේක, ඒකේ කණුද වෙවුලන්නේය.
7ඉර නොපායන හැටියට උන්වහන්සේ අණකරනසේක; තාරකා මුද්‍රකර තබනසේක.
8උන්වහන්සේ පමණක්ම අහස දිගහරිනසේක, මුහුදු රැළ පිටද ඇවිදිනසේක.
9උන්වහන්සේ මහවලසාද මුවසිරසද හත්දින්නද දක්ෂිණ නිවාසද සාදනසේක.
10උන්වහන්සේ සොයා දැනගන්ට බැරිවූ මහත් දේද ගණන් නැති පුදුමවල්ද කරනසේක.
11බලව, උන්වහන්සේ මා ළඟින් යන නුමුත් මට පෙනෙන්නේ නැත; මා පසුකර යන නුමුත් මට දැනෙන්නේ නැත.
12උන්වහන්සේ අල්ලාගන්න කල උන්වහන්සේ වලක්වන්නේ කවුද? ඔබ මක්කරනවාදැයි උන්වහන්සේට කියන්ට පුළුවන් කාටද?
13දෙවියන්වහන්සේ තමන් උදහස පහකර නොගන්නාසේක; උඩඟු උපකාරකාරයෝ උන්වහන්සේට යටත්වෙති.
14එසේවී නම් මම උන්වහන්සේට උත්තර දෙමින්, උන්වහන්සේ සමඟ විවාදකරන්ට මාගේ වචන තෝරාගන්නේ කොහොමද?
15මම ධර්මිෂ්ඨවුවත්, උන්වහන්සේට උත්තර නොදී, මාගේ විරුද්ධකාරයාට කන්නලව් කරන්නෙමි.
16මා යාච්ඤාකළ විට උන්වහන්සේ මට උත්තරදුන්නත්, උන්වහන්සේ මාගේ හඬට කන්දුන් බව විශ්වාස නොකරන්නෙමි.
17මක්නිසාද උන්වහන්සේ කුණාටුවකින් මා පොඩිකර, නිකරුණේ මාගේ තුවාල වැඩිකරනසේක.
18උන්වහන්සේ මට හුස්ම ගන්ටනොදී, තික්තකම්වලින් මා පුරවනසේක.
19ශක්තිය ගැන කථාකරමු නම් එය ඇත්තේ උන්වහන්සේටය; විනිශ්චය ගැන නම් මට කාලයක් නියමකරන්නේ කවරෙක්ද?
20මම ධර්මිෂ්ඨයයි කීවත් මාගේ මුඛය මා වරදට පත්කරන්නේය, මම නිදොස්යයි කීවත් එය මා වරදකාරයෙක් බව ඔප්පුකරන්නේය.
21මා නිදොස් වුවත් මාගේ ප්‍රාණය ගැන නොසලකමි; මාගේ ජීවිතය සුළුකොට සිතමි.
22කොයි එකත් එකය; එහෙයින්: උන්වහන්සේ සම්පූර්ණ අය සහ දුෂ්ටයාද විනාශකරනසේකැයි කියමි.
23විපත නමැති කස පහරින් හදිසියෙන් මරණය වුවත්, නිදොස් අයගේ විපත්තියට උන්වහන්සේ සිනාසෙනසේක.
24පොළොව දුෂ්ටයාගේ අතට භාරදී තිබේ. එහි විනිශ්චයකාරයන්ගේ මුහුණු උන්වහන්සේ වසනසේක; ඒ උන්වහන්සේ නොවේනම් වෙන කවුද?
25මාගේ දවස් දුවන පණිවිඩකාරයෙකුට වඩා වේගවත්ය. ඒවා හොඳක් නොදැක පලායයි.
26ඒවා ඉක්මනින් දුවන නැව් මෙන්ද ගොදුර පිටට වේගයෙන් බැස යන රාජාලියෙකු මෙන්ද පහව ගියේය.
27මාගේ විලාපය මතකනැතිකර, මාගේ දුක්මුසු පෙනීම වෙනස් කරගෙන, සොම්නස්වන්නෙමියි කීවත්,
28මාගේ සියලු දුක්වලට භයෙන් සිටිමි, ඔබ මා නිර්දෝෂ කොට ගණන් නොගන්න බව දනිමි.
29මම වරදකාරයෙක් වන්නෙමි; එබැවින් නිෂ්ඵලයේ කුමට වෙහෙසෙම්ද?
30මා හිම දියෙන් නාගන, මාගේ අත් කොපමණ පවිත්රකර ගත්තත්,
31ඔබ මා මඩ වළේ හෙළනසේක, මාගේම ඇඳුම් මට පිළිකුල්ය.
32මක්නිසාද මා විසින් උන්වහන්සේට උත්තරදෙන්ටත්, මා උන්වහන්සේ සමඟ විනිශ්චයට පැමිණෙන්ටත් පුළුවන්වන ලෙස, උන්වහන්සේ මා වාගේ මනුෂ්‍යයෙක් නොවේය,
33අප දෙගොල්ල කෙරෙහි තමාගේ අත තබන්ට අප අතරේ බේරුම්කාරයෙක් නැත.
34උන්වහන්සේ තමන් ඉපල මා කෙරෙන් පහකරගන්නසේක්වා, උන්වහන්සේගේ භීතිය මා ත්‍රස්ත නොකෙරේවා.
35එවිට මම උන්වහන්සේට භය නැතුව කථාකරන්නෙමි; මක්නිසාද එසේ වීමට මා තුළ කාරණයක් නැත.