Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
17 verses
1ස්වාමීන්වහන්සේගේ වචනය අමිත්තයිගේ පුත්‍රවූ යෝනා වෙතට පැමිණ:
2නුඹ නැගිට නිනිවය නම් මහත් නුවරට ගොස් ඊට විරුද්ධව මොරගසන්න; මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම මා ඉදිරියට පැමිණ තිබේයයි කීසේක.
3එහෙත් යෝනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් තර්ෂිෂ්ට පලා යන පිණිස නැගිට, යොප්පාවට බැසගොස්, තර්ෂිෂ්ට යන නැවක් එහි සම්බවී, ඊට ගාස්තුව ගෙවා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් ඔවුන් සමඟ තර්ෂිෂ්ට යන පිණිස ඒකට නැගුණේය.
4නුමුත් ස්වාමීන්වහන්සේ තද හුළඟක් මුහුද පිටට පැමිණෙවුසේක, එයින් මුහුදේ මහත් කුණාටුවක් වී නැව බිඳෙන්ට ළංවිය.
5එකල නැව්කාරයෝ භයව, එක එකා තම තමාගේ දෙවියන්ට මොරගසා, නැව සැහැල්ලුකරගැනීමට එහි තිබුණු බඩු මුහුදේ දැමුවෝය. එහෙත් යෝනා නැවේ ඇතුළට බැස හාන්සිවී තද නින්දට පැමිණ හුන්නේය.
6එවිට නැවේ ප්‍රධානියා ඔහු ළඟට ඇවිත්: නුඹ නිදාගන ඉන්නේ මක්නිසාද? නැගිට නුඹේ දෙවියන්වහන්සේගෙන් පිහිට ඉල්ලන්න, සමහරවිට අප විනාශ නොවන ලෙස දෙවියන්වහන්සේ අප ගැන කල්පනාකරනවා ඇතැයි ඔහුට කීවේය.
7ඔව්හු: මේ විපත්තිය අපට පැමුණුණේ කා නිසාදැයි දැනගන්නා පිණිස පසඇට දමමුයයි ඔවුනොවුන් කථාකරගත්තෝය. එසේ ඔවුන් පසඇට දැමූ විට පසඇටය යෝනාට වැටුණේය.
8එවිට ඔව්හු: මේ විපත්තිය අපට පැමුණුණේ මක්නිසාද කියා අපට කියන්න; නුඹේ රක්ෂාව මොකද? නුඹ කොතන සිට ආවාද? නුඹේ රට කිමෙක්ද? නුඹ මොන ජාතියේ කෙනෙක්දැයි ඔහුගෙන් ඇසුවෝය.
9ඔහුද: මම හෙබ්‍රෙව්වෙක්ය; මම වනාහි මුහුදත් ගොඩබිමත් මැවුවාවූ ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අදහමියි ඔවුන්ට කීය.
10එකල ඒ මනුෂ්‍යයෝ ඉතා භයපත්ව: නුඹ කළ මේ දේ කිමෙක්දැයි ඔහුට කීවෝය. එසේ කීවේ තමා ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පලායන බව ඔහු ඒ මනුෂ්‍යයන්ට කියා තිබී, ඔවුන් එය දැනගන සිටි නිසාය.
11එකල ඔව්හු: මුහුද අපට නිශ්චලවෙන පිණිස අප විසින් නුඹට කරන්ට ඕනෑ මොකදැයි ඔහුගෙන් ඇසුවෝය; මක්නිසාද මුහුද වඩ වඩා වේගවත් විය.
12මා අරන් මුහුදේ දමන්න; එවිට මුහුද නුඹලාට නිශ්චලවන්නේය. කුමක්හෙයින්ද මේ මහත් කුණාටුව නුඹලා පිටට පැමිණ තිබෙන්නේ මා නිසා බව දනිමියි ඔහු ඔවුන්ට කීවේය.
13එහෙත් ඒ මනුෂ්‍යයෝ ගොඩට හැරීඑන පිණිස තදින් පැද්දෝය; නුමුත් මුහුද ඔවුන්ට විරුද්ධව වඩ වඩා සැරවූ බැවින් ඔවුන්ට බැරිවිය.
14එවිට ඔව්හු ස්වාමීන්වහන්සේට හඬගසා: අහෝ ස්වාමීන්වහන්ස, මේ මනුෂ්‍යයාගේ ප්‍රාණය නිසා අප පිට විනාශයක් නොවේවා, නිදොස් ලේද අප පිට තැබුව මැනව. මක්නිසාද, ස්වාමීන්වහන්ස, ඔබ කැමති ලෙසම කළසේකැයි කීවෝය.
15එවිට ඔව්හු යෝනා අරන් මුහුදේ දැමූහ. මුහුදේ වේගයද නැවතුණේය.
16එකල ඒ මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේ කෙරේ අතිශයින් භයව, ස්වාමීන්වහන්සේට පූජාවක් ඔප්පුකොට, බාරවල් වුණෝය.
17තවද ස්වාමීන්වහන්සේ යෝනා ගිලින්ට මහා මත්ස්‍යයෙකු පත්කලසේක; යෝනා වනාහි දාවල් තුනක්ද රෑ තුනක්ද මත්ස්‍යයාගේ බඩේ සිටියේය.