Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
16 verses
1ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල්වරුන් වටකර සිටිය ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් ඔවුන්ට විශ්‍රාමය දී බොහෝ කලකට පසු, යෝෂුවා මහලුව වයෝවෘද්ධව සිටියදී,
2යෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් වන ඔවුන්ගේ වැඩිමහල්ලන්ද ප්‍රධානීන්ද විනිශ්චයකාරයන්ද මුලාදෑනීන්ද කැඳවා ඔවුන්ට කථාකොට: මම මහලුව වයෝවෘද්ධවසිටිමි.
3ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම උදෙසා මේ සියලු ජාතීන්ට කළ සියල්ල ඔබ සැම දුටුවහුය; මක්නිසාද ඔබ සැම උදෙසා යුද්ධ කෙළේ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේමය.
4ඉතුරුව සිටින මේ ජාතීන්ගේද මා විසින් සිඳදැමූ සියලු ජාතීන්ගේද දේශය යොර්දාන් පටන් බස්නාහිර මහ මුහුද දක්වා ඔබ සැමගේ ගෝත්‍රවලට උරුමයක් කොට පස ඇට දමා ඔබ සැමට බෙදාදුනිමි.
5ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, උන්වහන්සේම, ඔබ සැම ඉදිරියෙන් ඔවුන් එළවා ඔබ සැම ඉදිරිපිටින් ඔවුන් පන්නා දමනවා ඇත; ඔබ සැමද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට කී හැටියට ඔවුන්ගේ දේශය හිමිකර ගන්නවා ඇත.
6එබැවින් ඔබ සැම අතරේ ඉතිරිව සිටින මේ ජාතීන් අතරෙහි නොගැවසී, ඔවුන්ගේ දෙවිවරුන්ගේ නාම සඳහන් නොකොට, ඔවුන් ගැන නොදිවුරවා, ඔවුන්ට සේවය නොකර නමස්කාර නොකර සිටින පිණිස,
7මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියල්ලෙන් දකුණටවත් වමටවත් නොහැරී ඒවා පවත්වන්ටත් රක්ෂාකරන්ටත් ඉතා ධෛර්යවත්වන්න.
8ඔබ සැම අද දවස දක්වා කළ හැටියට ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ම ඇලුම්ව සිටින්න.
9මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉතා මහත්වූ බලවත්වූ ජාතීන් ඔබ සැම ඉදිරියෙන් පන්නා දැමූසේක. එහෙත් ඔබ සැමට විරුද්ධව සිටින්ට අද දවස දක්වා කිසිවෙකුට පුළුවන්වුණේ නැත.
10ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට කී හැටියට ඔබ සැම උදෙසා යුද්ධකරන්නේ උන්වහන්සේය, එබැවින් ඔබ සැමගෙන් එක්කෙනෙක් දහසක් එළවන්නේය.
11එහෙයින් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන ලෙස හොඳාකාරයෙන් බලාගන්න.
12මක්නිසාද ඔබ සැම යම් හෙයකින් හැරී ගොස්, ඔබ සැම ළඟ ඉතුරුව සිටින මේ ජාතීන්ට ඇලුම්වී, ඔවුන් සමඟ විවාහ කරගනිමින්, ඔබ සැම ඔවුන් අතරෙහිද ඔවුන් ඔබ සැම අතරෙහිද ගැවසුණොත්,
13ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම ඉදිරියෙන් මේ ජාතීන් තවත් පන්නා නොදමන බවත්, ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් ඔබ සැම විනාශවී යන තුරු, ඔවුන් ඔබ සැමට මලපතක්ද උගුලක්ද ඔබ සැමගේ ඇලපත්වලට කසයක්ද ඔබ සැමගේ ඇස්වලට කටුද වන බවත් හොඳට දැනගන්න.
14බලව, අද මම මුළු පොළොවේ සියල්ලන් යන මාර්ගයේ යමි. ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත්නෑරුණ බව ඔබ සැමගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් ඔබ සැම දන්නහුය; එයින් එක දෙයක්වත් අත්නෑරී සියල්ලම ඔබ සැමට පැමුණුණේය.
15තවද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කී සියලු යහපත් දේ ඔබ සැම කෙරෙහි පැමුණුණාක් මෙන්ම, ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට අණකළ තමන්ගේ ගිවිසුම ඔබ සැම කඩකර ගොස් අන් දෙවිවරුන්ට සේවයකර ඔවුන්ට නමස්කාරකරන කල,
16ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් ඔබ සැම විනාශවීයන තුරු, සියලු නරක දේවල් ඔබ සැම පිටට පමුණුවනවා ඇත. මෙසේ ස්වාමීන්වහන්සේගේ උදහස ඔබ සැමට විරුද්ධව ඇවිළෙන්නේය, උන්වහන්සේ ඔබ සැමට දී තිබෙන යහපත් දේශය මතුපිටින් ඉක්මනින් ඔබ සැම නැතිකර දමනවා ඇතැයි කීවේය.