Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
27 verses
1යොර්දානෙන් මෙගොඩ කඳු රටෙහිත් පාත රටෙහිත් ලෙබනොන් ඉදිරිපිට තිබෙන මහ මුහුද අසබඩ මුළුල්ලෙහිත් සිටිය හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද කානානිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද සියලු රජවරුන් ඒ ඇසූ කල,
2ඔව්හු එක් සිත්ව යෝෂුවාට සහ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන්ට එකට රැස්වූවෝය.
3නුමුත් ගිබියොන් වැසියන් යෝෂුවා විසින් යෙරිකෝවටත් හායිටත් කළදේ ඇසූ විට,
4ඔව්හු ප්‍රයෝගයෙන් හැසිරෙමින්, තානාපතීන් මෙන් පිටත්ව, පරණ ගෝණිද පැළී පිළියම්කළ පරණ සම් මුද්‍රිකපාන භාජනද තමුන්ගේ කොටළුවන් පිට පටවාගෙන,
5අණ්ඩ දැමූ පරණ වහන් පයලාගෙන, පරණ වස්ත්‍ර හැඳගන ගියෝය; ඔවුන්ගේ කෑමට ගත් රොටි සියල්ලද වේළී පුස්බැඳී තිබුණේය.
6ඔව්හු ගිල්ගාල්හි කඳවුරේ සිටි යෝෂුවා වෙතට ගොස් ඔහුටත් ඉශ්රායෙල් මනුෂ්‍යයන්ටත් කථාකොට: අපි දුර රටකින් ආවෙමුව. එබැවින් අප සමඟ ගිවිසුමක් කළමැනවියි කීවෝය.
7ඉශ්රායෙල් මනුෂ්‍යයෝද: ඔබ සැම අප අතරේ වසනවා වෙන්ට පුළුවන; කෙසේ අපි ඔබ සැම සමඟ ගිවිසුමක් කරමුදැයි හිවීවරුන්ට කීවෝය.
8ඔව්හු: අපි ඔබවහන්සේගේ දාසයෝයයි යෝෂුවාට කීවෝය. යෝෂුවාද: ඔබ සැම කවුරුද? කොතැනින් ආවහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය.
9ඔව්හු උත්තරදෙමින්: ඔබවහන්සේගේ දාසයෝවූ අපි ඔබවහන්සේගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිසා බොහෝ දුර රටකින් ආවෙමුව. මක්නිසාද උන්වහන්සේගේ කීර්තියද උන්වහන්සේ විසින් මිසරයෙහි කළ සියල්ලද,
10යොර්දානෙන් එගොඩ සිටිය අමෝරිවරුන්ගේ රජවරුන් දෙන්නා වන හෙෂ්බොන්හි රජවූ සීහොන්ටත් අෂ්ටාරොත්හි සිටි බාෂාන්හි රජවූ ඕග්ටත් කළ සියල්ලද ඇසීමුව.
11එබැවින් අපේ වැඩිහිටි මහල්ලෝද අපේ රට වැසි සියල්ලෝද අපට කථාකොට: ඔබ සැමගේ ගමනට ආහාර රැගෙන ඔවුන් සම්මුඛවෙන්ට ගොස්-අපි ඔබවහන්සේලාගේ දාසයෝය කියාද අප සමඟ ගිවිසුමක් කළ මැනවියි කියාද ඔවුන්ට කියන්නැයි අපට කීවෝය.
12ඔබවහන්සේලා ළඟට එන්ට අප පිටත්වුණ දවසේදී අපේ ආහාර පිණිස මේ රොටි උනුහුම්ව තිබෙද්දීම අපේ ගෙවලින් ගතිමුව; නුමුත් දැන් මේවා වේළී පුස්බැඳීතිබේ.
13අප විසින් පිරෙවු මේ මුද්‍රිකපාන සම්භාජන අලුත්ව තිබුණේය; දැන් මේවා ඉරී තිබේ. මේ අපේ වස්ත්‍රද වහන්ද ගමන ඉතා දුර නිසා පරණ වී තිබෙනවායයි කීවෝය.
14ඉශ්රායෙල් මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේගෙන් දැනුමැතිකම් නොවිචාරා ඔවුන්ගේ ආහාරවලින් පිළිගත්තෝය.
15යෝෂුවා ඔවුන් සමඟ සමාදානවී, ඔවුන්ගේ ප්‍රාණ ඉතුරුකරන හැටියට ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය. සභාවේ අධිපතීහුද ඔවුන්ට දිවුරුම් දුන්නෝය.
16එහෙත් ඔවුන් සමඟ ගිවිසුමක් කර තුන් දවසකට පසු ඔවුන් තමුන්ගේ අසල්වාසීන් බවත් තමුන් අතරෙහි වාසයකරන බවත් ඔවුන්ට ආරංචිවුණේය.
17ඉශ්රායෙල් පුත්‍රයෝ ගමන්කොට තුන්වෙනි දින ඔවුන්ගේ නුවරවලට පැමිණියෝය. ඔවුන්ගේ නුවරවල් නම් ගිබියොන්, කෙපීරා, බෙයේරොත්, කිර්යත්-යෙයාරීම් යන මේවාය.
18සභාවේ අධිපතීන් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගැන ඔවුන්ට දිවුරුම්දී තිබුණු නිසා ඉශ්රායෙල් පුත්‍රයෝ ඔවුන්ට පහර නුදුන්නෝය. මුළු සභාව අධිපතීන්ට විරුද්ධව කොඳුළෝය.
19නුමුත් සියලු අධිපතීහු කථාකොට: අපි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගැන ඔවුන්ට දිවුළෙමුව, එබැවින් ඔවුන්ට අත ගසන්ට නොහැකිවමුව.
20අප විසින් ඔවුන්ට දුන් දිවුරුම නිසා උදහස අප පිටට නොපැමිණෙන පිණිස, ඔවුන්ට ජීවත්වෙන්ට ඉඩහැර, ඔවුන්ට මෙසේ කරමුයයි මුළු සභාවට කීවෝය.
21තවද අධිපතීහු ඔවුන්ට කථාකොට: ඔව්හු ජීවත්වෙත්වයි කීවෝය. අධිපතීන් විසින් ඔවුන්ට කී හැටියට ඔව්හු වනාහි මුළු සභාවට දර කපන්නෝද දිය අදින්නෝද වූහ.
22යෝෂුවා ඔවුන් කැඳවා: ඔබ සැම අප අතරේ වාසයකරද්දී-අපි ඔබවහන්සේලාට බොහෝ දුරින් සිටිමුව කියා අප රැවටුවේ මක්නිසාද?
23ඉතින් ඔබ සැම ශාපලද්දෝය, ඔබ සැමගෙන් මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට දර කපන්නෝද දිය අදින්නෝද යන දාසයෝ කිසි කලක තොරනොවන්නාහයි ඔවුන්ට කීවේය.
24ඔව්හු යෝෂුවාට උත්තරදෙමින්: මුළු දේශය ඔබවහන්සේලාට දෙන්ටත් ඔබවහන්සේලා ඉදිරියෙන් දේශයේ සියලු වැසියන් විනාශකරදමන්ටත් ඔබවහන්සේලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ මෝසෙස්ට අණකළ බව ඔබගේ දාසයන්ට සැබවින් දන්වන්ට යෙදුණේය; එබැවින් අපි ඔබවහන්සේලා නිසා අපේ ප්‍රාණ ගැන ඉතා භයව මේ දේ කෙළෙමුව.
25ඉතින් අපි ඔබ අතේය; ඔබට යහපත්ව හරිව පෙනෙන ලෙස අපට කළ මැනවියි කීවෝය.
26ඔහු ඔවුන්ට එලෙසම කොට, ඉශ්රායෙල් පුත්‍රයන් විසින් ඔවුන් මරානොදමන ලෙස ඔවුන් අතින් ගළවාගත්තේය.
27අද දක්වා තිබෙන හැටියට යෝෂුවා ඒ දවසේ ඔවුන් සභාවටත් ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයෙහි උන්වහන්සේගේ පූජාසනයටත් දර කපන්නන්ද දිය අදින්නන්ද කෙළේය.