Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
15 verses
1එප්‍රායිම් මනුෂ්‍යයෝ රැස්වී උතුරු දිශාවට ගොස් යෙප්තාට කථාකොට: ඔබ සමඟ යන්ට අපට අඬනොගසා ඔබ අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්ට එගොඩට ගියේ මක්නිසාද? අපි ඔබේ ගෙය ඔබත් ඇතුළුව ගින්නෙන් පුලුස්සාදමමුයයි කීවෝය.
2යෙප්තා ඔවුන්ට කථාකොට: මමත් මාගේ සෙනඟත් අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව මහත් පොරයක යෙදී සිටියෙමුව; මා ඔබ සැමට අඬගැසූ නුමුත් ඔවුන්ගේ අතින් ඔබ සැම මා ගැළෙවුවේ නැත.
3ඔබ සැම මා ගැළෙවුවේ නැති බව මම දුටුවිට මාගේ ජීවිතය නොසලකා අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව එගොඩට ගියෙමි, ස්වාමීන්වහන්සේද ඔවුන් මා අතට පාවාදුන්සේක. ඉතින් ඔබ සැම මට විරුද්ධව සටන්කරන්ට අද දවසේ මා ළඟට ආවේ මක්නිසාදැයි ඔවුන්ට කීවේය.
4එවිට යෙප්තා ගිලියද්හි සියලු මනුෂ්‍යයන් රැස්කරවාගන එප්‍රායිම්ට විරුද්ධව යුද්ධකෙළේය. ඔබ සැම එප්‍රායිම්වරුන්ගෙන් පලාගිය අයවල්ය, ගිලියද්වරු එප්‍රායිම්වරුන්ද මනස්සේවරුන්ද අතරේ සිටියෝයයි එප්‍රායිම්වරුන් කී බැවින් ගිලියද් මනුෂ්‍යයෝ ඔවුන්ට පහරදුන්නෝය.
5ගිලියද්වරු එප්‍රායිම්ට යන යොර්දාන් තොටුපල් අල්ලාගත්තෝය. තවද පලාගිය එප්‍රායිම්වරුන්ගෙන් යමෙක් ඇවිත්: මට එගොඩවෙන්ට අරින්නැයි කී කල ගිලියද් මනුෂ්‍යයෝ: ඔබ එප්‍රායිමියයෙක්දැයි ඔහුගෙන් අසති;
6ඔහු: නැතැයි කීවොත්, ෂිබ්බොලෙත්ය කියන්නැයි ඔව්හු ඔහුට කියති; ඔහුට ඒක හරියට ශබ්දකරන්ට නොහැකිව, සිබ්බොලෙත්ය කීවොත් ඔව්හු ඔහු අල්ලා යොර්දාන් තොටුපල් ළඟදී මරති. ඒ ප්‍රස්තාවේදී එප්‍රායිම්වරුන්ගෙන් සතළිස් දෙදාහක් මැරුම් කෑවෝය.
7යෙප්තා සාවුරුද්දක් ඉශ්රායෙල් විනිශ්චය කෙළේය. ගිලියදීය යෙප්තා නැසී ගිලියද්හි නුවරක තැන්පත්කරන ලද්දේය.
8ඔහුට පසුව බෙත්-ලෙමේහි ඉබ්ශාන් ඉශ්රායෙල් විනිශ්චයකෙළේය.
9ඔහුට පුත්‍රයෝ තිස්දෙනෙක් සිටියෝය, තවද ඔහු දූවරුන් තිස්දෙනෙක් පිටට හැර පිටතින් තමාගේ පුත්‍රයන්ට දූවරුන් තිස්දෙනෙක් ගෙනායේය. ඔහු සත් අවුරුද්දක් ඉශ්රායෙල් විනිශ්චයකෙළේය.
10ඉබ්ශාන් මැරී බෙත්-ලෙහෙම්හි තැන්පත්කරන ලද්දේය.
11ඔහුට පසුව සාබුලොනිය ඒලොන් ඉශ්රායෙල් විනිශ්චයකෙළේය; ඔහු දස අවුරුද්දක් ඉශ්රායෙල් විනිශ්චයකෙළේය.
12සාබුලොනිය ඒලොන්ද මැරී සාබුලොන් රටේ තිබෙන අයාලොන්හි තැන්පත්කරන ලද්දේය.
13ඔහුට පසුව පිරාතෝනිය හිල්ලෙල්ගේ පුත්‍රවූ අබ්දොන් ඉශ්රායෙල් විනිශ්චයකෙළේය.
14පුත්‍රයෝ සතළිස් දෙනෙක්ද මුණුබුරෝ තිස්දෙනෙක්ද ඔහුට සිටියෝය, ඔව්හු කොටළුවන් සැත්තෑදෙනෙක් පිට නැගි ගියාහුය. ඔහු අට අවුරුද්දක් ඉශ්රායෙල් විනිශ්චය කෙළේය.
15පිරාතෝනිය හිල්ලෙල්ගේ පුත්‍රවූ අබ්දොන්ද මැරී එප්‍රායිම් රටේ අමලෙක්වරුන්ගේ කඳුකරයේ පිරාතෝන්හි තැන්පත්කරන ලද්දේය.