Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
20 verses
1සම්සොන් වනාහි තිම්නාට ගොස් පිලිස්තිවරුන්ගේ දූවරුන්ගෙන් එක් ස්ත්‍රියක් තිම්නාහිදී දිටීය.
2ඔහු අවුත් තමාගේ පියාටත් මවුටත් කථාකොට: පිලිස්තිවරුන්ගේ දූවරුන්ගෙන් එක් ස්ත්‍රියක් තිම්නාහිදී දුටිමි. ඈ මට භාර්යාකොට ලබාදෙන්නැයි කීවේය.
3එවිට ඔහුගේ මව්පියෝ කථාකොට: ඔබ අචර්මඡේදිත පිලිස්තිවරුන්ගෙන් භාර්යාවකු ගන්ට යන්නේ ඔබේ සහෝදරයන්ගේ දූවරුන් අතරේවත් මාගේ මුළු සෙනඟ අතරේවත් ස්ත්‍රියක් නැති නිසාදැයි ඔහුට කීවෝය. නුමුත් සම්සොන්: ඒ තැනැත්තිය මට ලබාදෙන්න, මක්නිසාද මම ඈට කැමතියයි තමාගේ පියාට කීවේය.
4ඒ කාරණය ස්වාමීන්වහන්සේගෙන් පැමුණුණු බව ඔහුගේ මව්පියෝ නොදැන සිටියෝය; මක්නිසාද ඔහු පිලිස්තිවරුන්ට විරුද්ධව ප්‍රස්තාවක් සෙවුවේය. ඒ කාලයේදී පිලිස්තිවරු ඉශ්රායෙල් කෙරෙහි ආණ්ඩුකළෝය.
5පසුව සම්සොන්ද ඔහුගේ මව්පියෝද තිම්නාට යන්ට ගියෝය. තිම්නාහි මිදිවතුවලට පැමිණි කල බලව, තරුණ සිංහයෙක් ඔහුට ගෙරෙවුවේය.
6එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහු තමාගේ අතේ කිසිවක් නැතුව එළුපැටවෙකු ඉරාදමන්නාක්මෙන් ඌ ඉරාදැමීය. නුමුත් ඔහු කළ දේ තමාගේ පියාටවත් මවුටවත් දැන්නුවේ නැත.
7ඔහු ගොස් ඒ ස්ත්‍රිය හා සමඟ කථාකෙළේය; ඈ ඔහුට බොහෝ ප්‍රසන්න වූවාය.
8ස්වල්ප දවසකට පසු ඔහු ඈ පාවාගන්ට නැවත යද්දී සිංහයාගේ මළකුණ බලන්ට අහකට හැරී ගියේය. බලව, සිංහයාගේ ශරීරයෙහි මීමැසි රැළක්ද මීපැණිද තිබුණේය.
9ඔහු එය ගෙන අතේ තබාගෙන කකා ගොස් තමාගේ මව්පියන් ළඟට අවුත් ඔවුන්ටත් දුන්නේය, ඔව්හුද කෑවෝය. නුමුත් ඒ මීපැණි සිංහයාගේ ශරීරයෙන් ගත් බව ඔහු ඔවුන්ට දැන්නුවේ නැත.
10ඔහුගේ පියා ඒ ස්ත්‍රීය සිටි තැනට ආවේය. සම්සොන් එහිදී මංගල්‍යයක් පිළියෙළකෙළේය; මක්නිසාද යෞවනයන් විසින් එසේ කිරීම සිරිතක් විය.
11තවද ඔව්හු ඔහු දුටු විට ඔහු සමඟ සිටින පිණිස යහළුවන් තිස්දෙනෙකු ගෙනාවෝය.
12සම්සොන් වනාහි: මම දැන් ඔබ සැමට තේරවිල්ලක් කියමි. මංගල්‍ය දවස් සත ඇතුළතදී ඒක විසඳා මට කීවොත් මම ඔබ සැමට සිහින් සළු තිහක්ද ඇඳුම් කුට්ටම් තිහක්ද දෙන්නෙමි.
13ඒක මට විසඳා කියන්ට ඔබ සැමට බැරිවුණොත් ඔබ සැම සිහින් සළු තිහක්ද ඇඳුම් කුට්ටම් තිහක්ද මට දෙන්ට ඕනෑයයි කීවේය. ඔව්හු අපට අසන්ට ඔබේ තේරවිල්ල කියන්නැයි ඔහුට කීවෝය.
14ඔහුද: බුදින්නා කෙරෙන් භෝජන නික්මුණේය. බලවතා කෙරෙන් මිහිර නික්මුණේයයි ඔවුන්ට කීවේය. ඒ තේරවිල්ල තුන් දවසකින් විසඳා කියන්ට ඔවුන්ට නුපුළුවන්විය.
15තවද සත් වෙනි 14:15 සමහර පිටපත්හි: සතරවෙනි. දවසේදී ඔව්හු සම්සොන්ගේ භාර්යාවට කථාකොට: තේරවිල්ල අපට කියාදෙන්ට ඔබේ පුරුෂයා පොළඹවන්න, නැත්නම් අපි ඔබත් ඔබේ පියාගේ ගෙයත් ගින්නෙන් දවන්නෙමුව. ඔබ සැම අප කැඳෙවුවේ අප දිළිඳුකරන්ට නොවේදැයි කීවෝය.
16සම්සොන්ගේ භාර්යාව ඔහු ඉදිරියේ අඬා: ඔබ මට වෛරවෙනවාම මිස ආදරේ නැත. මාගේ සෙනඟගේ පුත්‍රයන්ට ඔබ තේරවිල්ලක් කී නුමුත් මට ඒක තෝරාදුන්නේ නැතැයි කීවාය. ඔහුද: බලව, මම මාගේ පියාටවත් මවුටවත් ඒක නොකීයෙමි, ඔබට කෙලෙස කියම්දැයි ඈට කීවේය.
17ඔවුන්ගේ මංගල්‍යය පැවතුණ සත් දවස තිස්සේම ඈ ඔහු ඉදිරියෙහි ඇඬුවාය. ඈ ඔහුට කරච්චල්කළ බැවින් ඔහු සත්වෙනි දවසේදී ඒක ඈට කීය. ඈද ඇගේ සෙනඟගේ පුත්‍රයන්ට තේරුම කීවාය.
18සත්වෙනි දවසේදී ඉරබසින්ට පළමුවෙන් නුවර මනුෂ්‍යයෝ ඔහුට කථාකොට: මීපැණිවලට වඩා මිහිරි කුමක්ද? සිංහයෙකුට වඩා බලවතා මොකෙක්දැයි ඔහුට කීවෝය. ඔහුද: ඔබ සැම මාගේ නෑම්බීගෙන් නොසෑහුනම් මාගේ තේරවිල්ල දැනගන්ට නොයෙදේයයි ඔවුන්ට කීවේය.
19එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහු අෂ්කෙලොන්ට ගොස් එහි මිනිසුන් තිස්දෙනෙකු මරා ඔවුන්ගෙන් කොල්ලකාගෙන තේරවිල්ල තෝරා දුන් අයට ඇඳුම් කුට්ටම් දුන්නේය. ඔහුගේ කෝපය ඇවිළී ඔහු තමාගේ පියාගේ ගෙදරට ගියේය.
20සම්සොන්ගේ භාර්යාවද ඔහු යහළුවා කොට ගත් ඔහුගේ සමාගම්කාරයාට දෙන ලද්දීය.