Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
40 verses
1ඉශ්රායෙල් පුත්‍රයෝ වනාහි ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය. ස්වාමීන්වහන්සේ ඔවුන් මිදියන්වරුන් අතට සත් අවුරුද්දකට පාවාදුන්සේක.
2මිදියන්වරුන්ගේ අත ඉශ්රායෙල්වරුන්ට විරුද්ධව ජයගත්තේය. මිදියන්වරුන් නිසා ඉශ්රායෙල් පුත්‍රයෝ කඳුවල තිබෙන බිම්ගෙවල්ද ගුහාවල්ද කොටුද සාදාගත්තෝය.
3ඉශ්රායෙල්වරුන් වැපුරුවාට පසු මිදියන්වරුද අමෙලෙක්වරුද පූර්ව දිශාවේ වැසියෝද ඔවුන්ට විරුද්ධව ඇවිත්,
4ඔවුන්ට විරුද්ධව කඳවුරු බැඳ, ගාසා දොරටු දක්වා පොළොවේ භෝග ඵල නාස්තිකළෝය, ඔව්හු ආහාරවත් එළුබැටළුවන්වත් ගවයන්වත් කොටළුවන්වත් ඉශ්රායෙල්වරුන්ට ඉතිරිනොකළෝය.
5මක්නිසාද ඔව්හු තමුන්ගේ ගවයන්ද කූඩාරම්ද ඇතුව නැගී ආවෝය, ඔව්හුද ඔවුන්ගේ ඔටුවෝද ගණනින් පළඟැටියන් මෙන් ගණනාවක් නැතුව ඇවිත්, දේශය විනාශකරන පිණිස එහි ඇතුල්වුණෝය.
6මිදියන්වරුන් නිසා ඉශ්රායෙල්වරු ඉතා පහත් භාවයට පැමිණියාහ; එවිට ඉශ්රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගැසුවෝය.
7තවද ඉශ්රායෙල් පුත්‍රයන් මිදියන්වරුන් නිසා ස්වාමීන්වහන්සේට මොරගැසූ කල,
8ස්වාමීන්වහන්සේ ප්‍රොපේත කෙනෙකු ඉශ්රායෙල් පුත්‍රයන් වෙතට එවූසේක. ඔහු ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මම ඔබ සැම මිසරයෙන් ගෙනැවිත්, ඔබ සැම වහල්කමේ ගෙයින් පිටතට පැමිණෙවුවෙමි;
9මිසරවරුන්ගේ අතින්ද ඔබ සැමට පීඩාකළ සියල්ලන්ගේ අතින්ද ඔබ සැම නිදහස්කර, ඔබ සැම ඉදිරියෙන් ඔවුන් පන්නාදමා, ඔවුන්ගේ දේශය ඔබ සැමට දුනිමි;
10මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය කියාද ඔබ සැම වාසයකරන දේශයේ සිටි අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට භයනොවන්න කියාද ඔබ සැමට කීයෙමි. එහෙත් ඔබ සැම මාගේ හඬට ඇහුම්කන් දුන්නේ නැතැයි කියනසේකැයි කීවේය.
11ස්වාමීන්වහන්සේගේ දූතයා ඇවිත් අබියෙශ්‍රීය යෝවාෂ්ට අයිතිවූ ඔප්‍රාහි තිබෙන අලෝන ගස යට හිඳගත්තේය. යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු සඟවාගන්න පිණිස ඒවා මුද්‍රික යන්ත්‍රයෙහි මඩිමින් සිටියේය.
12ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට පෙනී: ධෛර්යමත් බලවත් මනුෂ්‍යය, ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනසේකැයි කීය.
13ගිඩියොන් ඔහුට කථාකොට: අහෝ මාගේ ස්වාමිනි, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක් නම් මේ සියල්ල අපට සිද්ධවී තිබෙන්නේ මක්නිසාද? ස්වාමීන්වහන්ස�� අප මිසරයෙන් ගෙනාවා නොවේද කියා අපේ පියවරුන් අපට කියාදුන් උන්වහන්සේගේ සියලු පුදුම ක්‍රියා කොයිද? දැන් නම් ස්වාමීන්වහන්සේ අප අත්හැරදමා මිදියන්වරුන් අතට අප පාවාදුන්සේකැයි කීවේය.
14ස්වාමීන්වහන්සේ ඔහු දෙස බලා: ඔබේ මේ බලවත්කමින් ගොස් මිදියන්වරුන් අතින් ඉශ්රායෙල් ගළවන්න. මා ඔබ යැවුවා නොවේදැයි කීසේක.
15ඔහු උන්වහන්සේට කථාකොට: අහෝ, ස්වාමිනි, කුමකින් මම ඉශ්රායෙල් ගළවාගනිම්ද? බැලුව මැනව, මාගේ පවුල මනස්සේහි ඉතා දිළිඳු පවුලය, මමද මාගේ පියාගේ ගෙයි ඉතාම කුඩා තැනැත්තා වෙමියි කීවේය.
16ස්වාමීන්වහන්සේද: සැබවින් මම ඔබ සමඟ සිටින්නෙමි, ඔබ එක්කෙනෙකුට මෙන් මිදියන්වරුන්ට පහරදෙන්නෙහියයි ඔහුට කීසේක.
17ඔහු උන්වහන්සේට කථාකොට: දැන් ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබේනම්, ඔබ මා සමඟ කථාකරන බවට ලකුණක් මට පෙන්නුව මැනව.
18ඔබ වෙත මාගේ පූජාව ගෙනවුත් ඔබ ඉදිරියෙහි තබන තෙක් මෙතැනින් නොගිය මැනවයි කීවේය. උන්වහන්සේද: ඔබ හැරී එන තුරු මම නවතින්නෙමියි කීසේක.
19ගිඩියොන් ඇතුළට ගොස් එළුපැටියෙක්ද ඒඵාවක පිටිවලින් මුහුන් නොදැමූ රොටිද සූදානම්කොට, මස් පෙට්ටියක තබා, සොදි භාජනයක වත්කොට, අලෝන ගස යටට ගෙනවුත් උන්වහන්සේට ඔප්පුකෙළේය.
20දෙවියන්වහන්සේගේ දූතයා: මස් සහ මුහුන් නොදැමූ රොටි අරන් මේ ගල පිට තබා, සොදි වත්කරන්නැයි ඔහුට කීය. ඔහු එසේ කෙළේය.
21එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා තමාගේ අතේ තිබුණු සැරයටියේ අග දිගුකොට මස්වලටත් මුහුන් නොදැමූ රොටිවලටත් තට්ටු කෙළේය; එවිට පර්වතයෙන් ගිනි මතුවී මස්ද මුහුන් නොදැමූ රොටිද දවාදැමුවේය; ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහු ඉදිරියෙන් නොපෙනී ගියේය.
22ඒ ස්වාමීන්වහන්සේගේ දූතයා බව ගිඩියොන් දැක: අහෝ, ස්වාමිවූ දෙවියන්වහන්ස! මක්නිසාද මම ස්වාමීන්වහන්සේගේ දූතයා මුහුණට මුහුණලා දුටිමියි කීය.
23ස්වාමීන්වහන්සේ: ඔබට සමාදානය වේවා; භයනොවන්න. ඔබ නසින්නේ නැතැයි ඔහුට කීසේක.
24එවිට ගිඩියොන් එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා, යෙහෝවා-ෂාලොම්6:24 එනම්, ස්වාමීන්වහන්සේ සමාදානයය. යන නාමය ඊට තැබුවේය. එය අද දවස දක්වා අබියෙශ්‍රීවරුන්ට අයිති ඔප්‍රාහි තිබේ.
25තවද එදාම රෑ ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: ඔබේ පියාට අයිති ගොනා එනම් සත් අවුරුදු වයස් ඇති දෙවෙනි ගොනා ගෙන ගොස්, ඔබේ පියාට තිබෙන බාල්ගේ පූජාසනය කඩාදමා, ඒ ළඟ තිබෙන අෂේරා කණුව කපාදමා,
26මේ බලකොටුව මුදුනේ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජාසනයක් නිසි පිළිවෙළට සාදා, දෙවෙනි ගොනා ගෙන ඔබ කපන්නාවූ අෂේරා කණුවේ ලීවලින් ඌ දවන පූජාවක්කොට ඔප්පුකරන්නැයි කීසේක.
27එවිට ගිඩියොන් තමාගේ වැඩකාරයන්ගෙන් දසදෙනෙකුන් කැඳවාගෙන ස්වාමීන්වහන්සේ ඔහුට කී ලෙස කෙළේය. ඔහු තමාගේ පියාගේ ගෙයි වැසියන් නිසාත් නුවර වැසියන් නිසාත් එය දවාලේදී කරන්ට භයව රාත්රියේදී කෙළේය.
28නුවර මනුෂ්‍යයන් අලුයම නැගුටුණු විට, බලව, බාල්ගේ පූජාසනය කඩාදමා තිබුණේය, ඒ ළඟ තිබුණු අෂේරා කණුව කපන ලදුව, ගොඩනැගූ පූජාසනය පිට දෙවෙනි ගොනා පූජාකර තිබුණේය.
29මේක කෙළේ කවුදැයි ඔවුන් එකිනෙකාගෙන් අසා සෙවූ කල, යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් මේක කෙළේයයි ඔවුන්ට කියන ලද්දේය.
30එවිට නුවර මනුෂ්‍යයෝ යෝවාෂ්ට කථාකොට: ඔබේ පුතා බාල්ගේ පූජාසනය කඩාදැමූ නිසාද ඒ ළඟ තිබුණු අෂේරා කණුව කැපූ නිසාද ඔහු මරන පිණිස පිටතට ගෙනෙන්නැයි කීවෝය.
31යෝවාෂ්ද තමාට විරුද්ධව සිටි සියල්ලන්ට කථාකොට: ඔබ සැම බාල් උදෙසා කාරණා කියනවාද? නොහොත් ඔබ සැම ඔහු ගළවන්ට හදනවාද? ඔහු උදෙසා කාරණා කියන්ට කැමති තැනැත්තේ උදයව තිබෙද්දීම මරනු ලැබේවා. ඔහු දෙවිකෙනෙක් නම් යමෙක් ඔහුගේ පූජාසනය කඩාදැමුවාට ඔහුම තමා උදෙසා කාරණා කියාවයි කීවේය.
32ඔහු බාල්ගේ පූජාසනය කඩාදැමූ නිසා බාල්ම ඔහුට විරුද්ධව කාරණා කියාවයි කියා ඒ දවසේදී ඔහුට යෙරුබ්බාල්. යන නම තැබුවේය.
33එවිට සියලු මිදියන්වරුද අමලෙක්වරුද පූර්ව දිශාවේ වැසියෝද එකට රැස්ව මෙගොඩට ඇවිත් යෙශ්‍රෙයෙල් මිටියාවෙත් කඳවුරු බැඳගත්තෝය.
34ස්වාමීන්වහන්සේගේ ආත්මය ගිඩියොන් කෙරෙහි පහළවූයේය; ඔහු හොරණෑවක් පිම්බේය; එවිට අබියෙශෙර්වරු ඔහු ළඟට රැස්වූහ.
35ඔහු මනස්සේ මුළුල්ලෙහි පණිවිඩකාරයන් යැවීය; ඔව්හුද ඔහු ළඟට රැස්වූහ. ඔහු ආෂෙර්වරුන්ද සාබුලොන්වරුන්ද නප්තලීවරුන්ද වෙතටත් පණිවිඩකාරයන් ඇරියේය; ඔව්හු ඔවුන් සම්මුඛවන පිණිස ආවෝය.
36ගිඩියොන් දෙවියන්වහන්සේට කථාකොට: ඔබවහන්සේ කී ලෙස මා ලවා ඉශ්රායෙල් ගළවනසේක් නම්,
37බැලුව මැනව, මම බැටළුලොම් මිටියක් පාවරේ තබන්නෙමි; ලොම් මිටිය පිට පමණක් පිනි ඇතුව මුළු බිම වියළී තිබුණොත් ඔබවහන්සේ කී ලෙස මා ලවා ඉශ්රායෙල් ගළවන බව එයින් මම දැනගන්නෙමියි කීවේය.
38ඒ එසේ සිද්ධවිය. ඔහු පසුවදා අලුයම නැගිට ලොම් මිටියෙන් පිනි මිරිකා තැටියක් පුරා වතුර මිරිකා හැරියේය.
39තවද ගිඩියොන් දෙවියන්වහන්සේට කථාකොට: ඔබවහන්සේගේ උදහස මට විරුද්ධව නොඇවිළේවා, මේ වර පමණක් කථාකරන්නෙමි. මේ වර පමණක් ලොම් මිටියෙන් විමසන්ට මට අවසර ලැබේවා; මුළු බිම පිට පිනි තිබෙද්දී ලොම් මිටිය පමණක් වියළී තිබේවයි කීවේය.
40දෙවියන්වහන්සේ ඒ රාත්‍රියේ එසේ කළසේක. මුළු බිම පිට පිනි තිබෙද්දී ලොම් මිටිය පමණක් වියළී තිබුණේය.