Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
66 verses
1උන්වහන්සේගේ කෝපය නැමති දණ්ඩෙන්දුක අත්දුටුවාවූ මනුෂ්‍යයා මමය.
2උන්වහන්සේ මා ගෙනගොස් එළියෙහි නොව අන්ධකාරයෙහි ඇවිදින්ට සැලැස්වූසේක.
3සැබවින්ම උන්වහන්සේ දවස මුළුල්ලේ මට විරුද්ධව නැවත නැවත තමන් අත හරවනසේක.
4උන්වහන්සේ මාගේ මාංසයත් හමත් ජරාවට පමුණුවා, මාගේ ඇට බින්දසේක.
5උන්වහන්සේ මට විරුද්ධව පවුරු ගොඩනඟා, තික්තකමෙන්ද ගාවිනාවෙන්ද මා වටකළසේක.
6පුරාණයේ නැසීගියවුන් මෙන් උන්වහන්සේ අඳුරු තැන්වල විසීම මට සැලැස්වූසේක.
7පිටත යන්ට බැරි ලෙස උන්වහන්සේ මා වසා තැබූසේක; මාගේ විලංගුව බරකළසේක.
8එසේය, මා කෑගසා පිහිට ඉල්ලන විට උන්වහන්සේ මාගේ යාච්ඤාව වලක්වනසේක.
9උන්වහන්සේ මාගේ මාර්ග කැපූ ගල්වලින් අහුරා, මාගේ මාවත් ඇදකළසේක.
10උන්වහන්සේ මාහට රැක සිටින වලසෙක්ද රහස් තැන්වල ඉන්න සිංහයෙක්ද මෙන්ය.
11උන්වහන්සේ මාගේ මාර්ග ඉවත්කොට මා ඉරාදැමූසේක; මා පාළුකළසේක.
12උන්වහන්සේ තමන් දුන්න තැත්කවා, ඊගහට ඉලක්කයක් කොට මා තැබූසේක.
13උන්වහන්සේ තමන් කොපුවේ ඊගස් මාගේ කටියට විද්දසේක.
14මම මාගේ මුළු සෙනඟට හිනාවක්ද දවස මුළුල්ලේ ඔවුන්ගේ කවියද වී සිටිමි.
15උන්වහන්සේ තික්ත රසයෙන් මා පුරවා, මට කොසඹ පෙවූසේක.
16උන්වහන්සේ බොරළුවලින් මාගේ දත් බින්දසේක, අලුයෙන් මා වැසූසේක.
17ඔබ මාගේ ආත්මය සමාදානය කෙරෙන් දුරුකළසේක; සැපත මට මතක නැතිවිය.
18මාගේ සවියත් ස්වාමීන්වහන්සේ කෙරෙන් මාගේ බලාපොරොත්තුවත් නැතිවී ගියේයයි කීමි.
19කොසඹ සහ වසද වැනිවූ මාගේ පීඩාවත් මාගේ දුකත් සිහිකළ මැනව.
20මාගේ ආත්මය තවම ඒවා සිහිකර මා තුළ පහත්වන්නේය.
21මේක මතක්කරගන්නෙමි, එබැවින් මට බලාපොරොත්තුව ඇත්තෝය.
22අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය.
23ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ; ඔබගේ විශ්වාසකම මහත්ය.
24මාගේ කොටස නම් ස්වාමීන්වහන්සේයයි මාගේ ආත්මය කියයි; එබැවින් උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවන්නෙමි.
25ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නන්ටත් උන්වහන්සේ සොයන ආත්මයටත් උන්වහන්සේ යහපත්ය.
26ස්වාමීන්වහන්සේගෙන් වන ගැළවීම නිශ්චලව බලා සිටීම මනුෂ්‍යයෙකුට හොඳය.
27තමාගේ බාල වයසේදී වියගහ දැරීම මනුෂ්‍යයෙකුට යහපත.
28උන්වහන්සේ ඒක ඔහු පිට තැබූ නිසා ඔහු තනියම හිඳ නිශ්ශබ්දව සිටීවා.
29සමහරවිට බලාපොරොත්තුවක් තිබේය කියා තමාගේ මුඛය දූවිල්ලෙහි තබාගන හිදීවා.
30ඔහු තමාට පහරදෙන අයට කම්මුල පෑවාවේ; නින්දාවෙන් පූර්ණවුණාවේ.
31මක්නිසාද ස්වාමීන්වහන්සේ සදාකාලයටම අහකදමන්නේ නැත.
32උන්වහන්සේ ශෝකය පමුණුවන නුමුත්, තමන්ගේ බොහෝවූ කරුණාව ලෙස අනුකම්පාකරනසේක.
33මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට කැමැත්තෙන් පීඩා නොකරනසේක, ඔවුන් ශෝකයට නොපමුණුවනසේක.
34පොළොවේ සෑම හිරකාරයන් පාදයට පොඩිකිරීමටත්,
35මහෝත්තමයාණන්ගේ මුහුණ ඉදිරියේදී මනුෂ්‍යයෙකුගේ යුක්තිය පෙරළා දැමීමටත්,
36මනුෂ්‍යයෙකුට ඔහුගේ නඩුවේදී අයුක්තිය කිරීමටත් ස්වාමීන්වහන්සේ සතුටු නොවනසේක.
37ස්වාමීන්වහන්සේ අණ නොකළසේක්නම් යමක් සිද්ධවේයයි කියන්නේ කවුද?
38මහෝත්තමයාණන්ගේ මුඛයෙන්ම විපතත් සැපතත් නොනික්මේද?
39ජීවත්ව සිටින මනුෂ්‍යයෙක් තමාගේ පව් ගැන දඬුවම ලබන නිසා කොඳුරන්නේ මන්ද?
40අපේ මාර්ග සෝදිසිකර වීමසා ස්වාමීන්වහන්සේ වෙතට නැවත හැරෙමු.
41ස්වර්ගයෙහි සිටින දෙවියන්වහන්සේ වෙතට අපගේ අත් සමඟ අපේ සිත්ද ඔසවමු.
42අපි වනාහි වරදකොට කැරළිගැසීමුව; ඔබ කමා නොකළසේක.
43ඔබවහන්සේ උදහසින් සැඟවී සිට අප පස්සේ එළවාගෙන ආසේක; අනුකම්පා නොකොට, මරාදැමූසේක.
44අපේ යාච්ඤාව ඔබ වෙතට නොපැමිණෙන ලෙස ඔබ වලාකුළකින් ඔබම වසාගෙන සිටිනසේක.
45ඔබ ජනයන් අතරෙහි අප කසළ සහ බොර මෙන් කළසේක.
46අපේ සියලු සතුරෝ අපට විරුද්ධව බොහෝසේ කට ඇරියෝය.
47භයානකකම සහ වළත් නාස්තිය සහ විනාශයත් අපට පැමිණ තිබේ.
48මාගේ සෙනඟ වන දියණියගේ විනාශය නිසා මාගේ ඇස්වලින් කඳුළු ගංගා ගලන්නේය.
49ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට බලා සලකන තුරු,
50මාගේ ඇස්වලින් නොනැවතී කඳුළු වැගිරෙන්නේය.
51මාගේ නුවර සියලු දූවරුන් නිසා මාගේ ඇස්වලින් මාගේ ආත්මයට වේදනා පැමිණෙන්නේය.
52නිෂ්කාරණයේ මට සතුරුව සිටින අය මා කුරුල්ලෙකු මෙන් තදින් එළෙවුවෝය.
53ඔව්හු මාගේ ප්‍රාණය හිරගෙයිදී සිඳ දමා, මා පිට ගලක් හෙළුවෝය.
54වතුරු මාගේ හිසට උඩින් ගලා ගියේය; මම සිඳදමනු ලැබීමියි කීවෙමි.
55ස්වාමීන්වහන්ස, මම ගැඹුරු වළේ සිට ඔබගේ නාමය කියා යාච්ඤා කෙළෙමි;
56ඔබ මාගේ හඬ ඇසූසේක; මාගේ හුස්ම ගැනීමටත් මාගේ හඬගැසීමටත් ඔබගේ කන වසා නොගත මැනව.
57මා ඔබට යාච්ඤාකළ දවසේදී ඔබ ළංවී: භය නොවන්නැයි කීසේක.
58ස්වාමීන්වහන්ස, ඔබ මාගේ ආත්මය වෙනුවට කාරණ කීසේක; මාගේ ප්‍රාණය මිදූසේක.
59ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පීඩාව දුටුසේක; මට යුක්තිය කරදුන මැනව.
60ඔවුන්ගේ සියලුම පළිගැනීම් සහ මට විරුද්ධව තිබෙන ඔවුන්ගේ සියලු යෝජනා ඔබ දුටුසේක.
61ස්වාමීන්වහන්ස, ඔවුන්ගේ නින්දා කිරීම සහ මට විරුද්ධව තිබෙන ඔවුන්ගේ සියලු යෝජනාද,
62මට විරුද්ධව නැගුටුණවුන්ගේ වචනද දවස මුළුල්ලේ මට විරුද්ධව තිබෙන ඔවුන්ගේ අදහස්ද ඔබ ඇසූසේක.
63ඔවුන්ගේ හිදීමත් නැගිටීමත් බැලුව මැනව; මම ඔවුන්ගේ කවියය.
64ස්වාමීන්වහන්ස, ඔවුන්ගේ අත්වල ක්‍රියා ලෙස ඔබ ඔවුන්ට ප්‍රතිඵල දෙනසේක.
65සිත් දැඩිකම වන ඔබගේ ශාපය ඔබ ඔවුන්ට දෙනසේක.
66ඔබ උදහසින් ඔවුන් එළවාගෙන ගොස්, ස්වාමීන්වහන්සේගේ අහස යටින් ඔවුන් විනාශකරදමන සේක.