Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
22 verses
1ස්වාමීන්වහන්ස, අපට සිද්ධවී තිබෙන දේ සිහිකළ මැනව. අපේ නින්දාව බලා සැලකුව මැනව.
2අපේ උරුමය අන්‍යයන්ටත් අපේ ගෙවල් විදේශීන්ටත් අයිතිවී තිබේ.
3අපි කාත් නැත්තෝය, පියා නැති දරුවෝය, අපේ මවුවරුන් වැන්දඹුවන් මෙන්ය.
4අපි අපේම වතුර මිලේට ගෙන බීමුව, අපේම දර අපට විකුණනු ලැබේ.
5අප ලුහුබඳින්නෝ අපට ඉතා ආසන්නය. අපි වෙහෙසුණෙමුව, අපට සහනයක් නැත.
6සෑහෙන පමණ කෑම ලැබෙන පිණිස මිසරවරුන්ටත් අෂූර්වරුන්ටත් අත දුනිමුව.
7අපේ පියවරු පව්කළෝය, ඔව්හු නැත; අපි ඔවුන්ගේ අයුතුකම් දැරුවෙමුව.
8වැඩකාරයෝ අප කෙරෙහි ආණ්ඩුකරති. ඔවුන් අතින් අප ගළවාගන්ට කෙනෙක් නැත.
9කාන්තාරයේ තිබෙන කඩුව නිසා, අපේ ප්‍රාණයට අන්තරාය ඇතුව අපේ කෑම ලබාගනිමුව.
10සාගින්නේ තද උෂ්ණය නිසා අපේ හම උඳුනක් මෙන් රත්ව තිබේ.
11සියොන්හි ස්ත්‍රීන්ටත් යූදා නුවරවල කන්‍යාවන්ටත් ඔව්හු බලාත්කාරකළෝය.
12අධිපතීහු තමුන්ගේ අත්වලින් එල්ලනු ලැබුවෝය. වැඩිමහල්ලන්ගේ මුහුණුවලට ගෞරව නොලැබුණේය.
13යෞවනයෝ ඇඹරුම්ගල උසුලාගන ගියෝය, ළමයි දරවල බරින් වැටී ගියෝය.
14වැඩිමහල්ලෝ දොරටුවෙන් පහව ගියෝය. යෞවනයෝ තමුන්ගේ ගීතිකාකිරීමෙන් වැලකුණෝය.
15අපේ සිතේ ප්‍රීතිය නැවතුණේය; අපේ නැටීම වැලපීමට පෙරළුණේය.
16අපේ හිසින් ඔටුන්න වැටුණේය. අපට දුක්වේ! මක්නිසාද අපි පව් කෙළෙමුව.
17මේ නිසා අපේ සිත ක්ලාන්තවී තිබේ; මේ දේවල් නිසා-
18පාළුව තිබෙන සියොන් කන්ද නිසා-අපේ ඇස් අඳුරුවී තිබේ; සිවල්ලු එහි ඇවිදිති.
19ස්වාමීන්වහන්ස, ඔබ සදාකාලයටම සිටිනසේක; ඔබගේ සිංහාසනය පරම්පරාවෙන් පරම්පරාවට පවත්නේය.
20ඔබ නිතරම අප මතකනැතිකරන්නෙත් මෙපමණ කල් අප අත්හරින්නෙත් මක්නිසාද?
21ස්වාමීන්වහන්ස, අප හැරී එන පිණිස ඔබ වෙතට අප හරවාගත මැනව; පුරාණයේදී මෙන් අපට [සමාදන] දවස් නැවත දුන මැනව.
22මක්නිසාද ඔබ සහමුලින් අප පහකර දැමූසේක, ඔබ අප කෙරෙහි අතිශයින් කෝපව සිටිනසේක.