Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
17 verses
1ස්වාමීන්වහන්සේ මෝසෙස්ට හඬගසා සම්මුඛවීමේ කූඩාරමේ සිට ඔහුට කථාකොට:
2ඔබ ඉශ්රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්නැයි කීසේක-ඔබ සැමගෙන් යම් මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේට පූජාවක් ඔප්පුකරන කල සිව්පාවුන්ගෙන් එනම් ගව රැළෙන්ද එළු බැටළු රැළෙන්ද ඔබ සැමගේ පූජාව ඔප්පුකරන්න.
3ඉදින් ඔහුගේ පූජාව ගව රැළෙන් වූ දවන පූජාවක් නම්, ඔහු කැලල් නැති පිරිමි සතෙකු ඔප්පුකළ යුතුය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු ඌ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඔප්පුකළ යුතුය.
4ඔහු තමාගේ අත දවන පූජා සතාගේ ඉස පිට තබාවා. එය ඔහු උදෙසා සමඟිකම් කිරීමට ඔහු නිසා පිළිගනු ලබන්නේය.
5ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගොනා මැරිය යුතුය. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයන්ද ලේ ඔප්පුකොට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන පූජාසනය පිට හාත්පසින් ඒ ලේ ඉසිය යුතුය.
6ඔහු දවන පූජා සතා හමගසා උගේ කොට්ඨාසවලට කැපිය යුතුය.
7පූජකවූ ආරොන්ගේ පුත්‍රයෝ පූජාසනය පිට ගිනි දල්වා ගිනි පිට දර පිළිවෙළින් තබත්වා.
8ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයන් හිසද තෙලද යන කොට්ඨාස පූජාසනය මතුයෙහි ගින්න පිට තිබෙන දර උඩ පිළිවෙළින් තැබිය යුතුය.
9එහෙත් ඔහු උගේ අතුණුද උගේ කකුල්ද වතුරෙන් සේදිය යුතුය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් වන දවන පූජාවක් කොට පූජකයා විසින් ඒ සියල්ල පූජාසනය පිට දැවිය යුතුය.
10ඉදින් දවන පූජාවක් පිණිස ඔහුගේ පූජාව බැටළු රැළෙන්වත් එළු රැළෙන්වත් වන්නේනම්, ඔහු නොකැලල් පිරිමි සතෙකු පූජාකළ යුතුය.
11ඔහු පූජාසනයට උතුරු පැත්තේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඌ මැරිය යුතුය. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයෝ උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිත්වා.
12ඔහු උගේ හිසද තෙලද සමඟ ඌ කොට්ඨාසවලට කපාවා. පූජකයාද පූජාසනය මතුයෙහි ගින්න පිට තිබෙන දර උඩ ඒවා පිළිවෙළින් තැබිය යුතුය;
13එහෙත් ඔහු අතුණුද කකුල්ද වතුරෙන් සේදිය යුතුය. පූජකයා ඒ සියල්ල ඔප්පුකොට පූජාසනය පිට දැවිය යුතුය. ඒක ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති, ගින්නෙන් කළ දවන පූජාවක්ය.
14ඉදින් ස්වාමීන්වහන්සේට ඔහුගේ පූජාව පක්ෂීන්ගෙන් වූ දවන පූජාවක් නම්, කොබෙයියන්ගෙන් හෝ පරෙවි පැටවුන්ගෙන් හෝ ඔහු තමාගේ පූජාව ඔප්පුක��� යුතුය.
15පූජකයාද ඌ පූජාසනයට ගෙනවුත් උගේ හිස කඩාදමා පූජාසනය පිට දැවිය යුතුය; උගේ ලේ පූජාසනයේ පැත්තේ වැගිරෙන්ට හැරිය යුතුය.
16ඔහු උගේ ගොදුරු බොක්කද උගේ පිහාටුද පහකර ඒවා පූජාසනය ළඟ නැගෙනහිරින් අළු දමන තැන දැමිය යුතුය.
17ඌ වෙන් නොකොට අත්හැඳි ළඟින් ඉරා පූජකයා පූජාසනය පිට ගින්නෙහි තිබෙන දර පිට ඌ දැවිය යුතුය. ඒක ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති දවන පූජාවක්ය.