Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
34 verses
1ස්වාමීන්වහන්සේ ඉදිරියට ළඟාවී සිටිද්දී මැරුණු, ආරොන්ගේ පුත්‍රයන් දෙදෙනාගේ මරණයෙන් පසු,
2ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ඔබේ සහෝදරවූ ආරොන් නොනස්නා පිණිස තිරය ඇතුළතින් ශුද්ධස්ථානයෙහි පෙට්ටිය පිට තිබෙන කරුණාසනය ඉදිරියට නිතරම ඇතුල් නොවන ලෙස ඔහුට කියන්න. මක්නිසාද මම කරුණාසනය මතුයේ වලාකුළෙහි පෙනෙන්නෙමි.
3ආරොන් ශුද්ධස්ථානයට ඇතුල්විය යුතු මෙසේය: පාප පූජාවකට ගොන් නාම්බෙක්ද දවන පූජාවකට බැටළුවෙක්ද රැගෙන ඔප්පුකිරීමෙන්ය.
4ඔහු ශුද්ධ හණ යට ඇඳුම ඇඳ, තමාගේ ඇඟේ හණ කලිසම දමාගෙන, හණ පටිය ඉඟටියේ බැඳගන, මකුටය පැලඳ ගන්නේය. ඒවා ශුද්ධ වස්ත්‍ර බැවින් ඔහු තමාගේ ශරීරය වතුරෙන් සෝදාගෙන ඒවා පැලඳගත යුතුය.
5ඔහු ඉශ්රායෙල් පුත්‍රයන්ගේ සභාවෙන් පාප පූජාවකට එළුවන් දෙන්නෙක්ද දවන පූජාවකට එක බැටළුවෙක්ද ගන්නේය.
6එවිට ආරොන් තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා ඔප්පුකර තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද සමඟිකමක් කරන්නේය.
7ඔහු එළුවන් දෙදෙනා රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ සිටවන්නේය.
8එවිට ආරොන් එළුවන් ගැන පසඇට දැමිය යුතුය: ස්වාමීන්වහන්සේට එක පස ඇටයක්ය, අශාශෙල්ට 16:8 හෙවත්, නිදහස්කර හැරීමට දාදුව වැටුණු. එක පස ඇටයක්ය.
9පසඇට දැමීමෙන් ස්වාමීන්වහන්සේට වූ එළුවා ගෙනැවිත් ආරොන් පාප පූජාවක් කොට ඔප්පුකරන්නේය.
10එහෙත් පසඇට දැමීමෙන් අශාශෙල්ට 16:10 හෙවත්, නිදහස්කර හැරීමට දාදුව වැටුණු. වූ එළුවා අශාශෙල් උදෙසා වනාන්තරයෙහි නිදහසට ඇරීමට උගෙන් සමඟිකමක් කරන පිණිස ඌ පණපිටින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටවනු ලැබේවා.
11ආරොන් තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා ඔප්පුකොට, තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද සමඟිකමක් කරමින්, තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා මරන්නේය.
12එවිට ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන පූජාසනයේ ගිනි අඟුරුවලින් ධූප භාජනයක් පුරවා, කුඩුකළාවූ සුගන්ධ ද්‍රව්‍යයෙන් තමාගේ අත් පුරවාගෙන, තිරයෙන් ඇතුළට ඇවිත්,
13ඔහු නොනසින පිණිස ධූප පටලය සාක්ෂිය මතුයෙහි තිබෙන කරුණාසනය වසාගන්නා ලෙස ඒ සුවඳ ද්‍රව්‍ය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගින්න පිට දමන්නේය.
14තවද ඔහු ගොනාගේ ලෙයින් ස්වල්පයක් ගෙන තමාගේ ඇඟිල්ලෙන් කරුණාසනයෙහි නැගෙනහිර පැත්තේ ��සින්නේය; ඔහු කරුණාසනය ඉදිරියෙහි තමාගේ ඇඟිල්ලෙන් ඒ ලේ සත් වරක් ඉසිය යුතුය.
15එවිට ඔහු සෙනඟ උදෙසා වූ පාප පූජාවේ එළුවා මරා උගේ ලේ තිරයෙන් ඇතුළට ගෙනගොස් ගොනාගේ ලෙයින් කළ ලෙසම උගේ ලෙයිනුත් කරමින් කරුණාසනය පිටද කරුණාසනය ඉදිරියෙහිද ඉසින්නේය.
16එසේ ඔහු ඉශ්රායෙල් පුත්‍රයන්ගේ අපවිත්‍රකම් නිසාද ඔවුන්ගේ සියලු අපරාධයන් එනම් ඔවුන්ගේ සියලු පව් නිසාද ශුද්ධස්ථානය උදෙසා සමඟිකමක් කරන්නේය. ඔවුන් අතරේ ඔවුන්ගේ අපවිත්‍රකම් මැද පිහිටා තිබෙන සම්මුඛවීමේ කූඩාරමටත් එසේම කළ යුතුය.
17ඔහු ශුද්ධස්ථානයෙහි සමඟිකමක් කරන්ට ඇතුල්වන කල තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද මුළු ඉශ්රායෙල් සභාව උදෙසාද සමඟිකමක් කොට පිටතට එනතුරු කිසිවෙක් සම්මුඛවීමේ කූඩාරමෙහි නොසිටිය යුතුය.
18ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන පූජාසනය ළඟට පිටතට ගොස් ඒක උදෙසා සමඟිකමක් කරමින් ගොනාගේ ලෙයින්ද එළුවාගේ ලෙයින්ද මඳ මඳ රැගෙන පූජාසනයේ අංවල වටේට ගාන්නේය.
19ඔහු ඒ පිට සත්වරක් තමාගේ ඇඟිල්ලෙන් ලේ ඉස ඒක පවිත්රකොට ඉශ්රායෙල් පුත්‍රයන්ගේ අපවිත්‍රකමෙන් ඒක විශුද්ධකෙරේවා.
20ඔහු ශුද්ධස්ථානයද සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද උදෙසා සමඟිකමක්කොට නිමවූ කල පණ පිටින් සිටින එළුවා ඉදිරියට ගෙනේවා.
21ආරොන්ද තමාගේ අත් දෙක පණ පිටින් සිටින එළුවාගේ හිස පිට තබා ඉශ්රායෙල් පුත්‍රයන්ගේ සියලු අයුතුකම්ද ඔවුන්ගේ සියලු අපරාධයන්ද එනම් ඔවුන්ගේ සියලු පව් කියා දෙමින් ඒවා එළුවාගේ හිස පිට තබා සූදානම්ව සිටින මනුෂ්‍යයෙකු අත ඌ වනාන්තරයට යැවියයුතුය.
22එළුවාද ඔවුන්ගේ සියලු අයුතුකම් දරාගෙන පාළු දේශයකට යන්නේය. ඔහු එළුවා වනාන්තරයෙහි යන්ට හරින්නේය.
23එවිට ආරොන් සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්ව තමා ශුද්ධස්ථානයට ඇතුල්වෙන විට හැඳගන සිටි හණ වස්ත්‍ර ගළවා එහි තබා,
24ශුද්ධ ඉඩමකදී වතුර නාවාගන, තමාගේ වස්ත්‍ර හැඳගන පිටතට අවුත්, තමාගේ දවන පූජාවද සෙනඟගේ දවන පූජාවද ඔප්පුකර, තමා උදෙසාද සෙනඟ උදෙසාද සමඟිකමක් කරන්නේය.
25පාප පූජාවේ තෙල පූජාසනය පිට දැවිය යුතුය.
26අශාශෙල් උදෙසා වූ එළුවා යන්ට හරින තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගෙන පසුව කඳවුරට ආ යුතුය.
27තවද ශුද්ධස්ථානයෙහි සමඟිකමක් කරන පිණිස ලේ ගන්ට යෙදුණු පාප පූජාවේ ගොනාද පාප පූජාවේ එළුවාද කඳවුරෙන් පිටතට ගෙන ගොස් උන්ගේ හම්ද මාංසද ගොමද ගින්නෙන් පුලුස්සා දැමිය යුතුය.
28ඒවා පුලුස්සාදමන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන, වතුර නාගන, පසුව කඳවුරට එන්නේය.
29එය ඔබ සැමට නිරන්තර පනතක් වන්නේය. සත්වෙනි මාසේ දසවෙනි දිනදී ඔබ සැමගේ ප්‍රාණවලට පීඩාකරගත යුතුය, ස්වදේශියාවත් ඔබ සැම අතරේ වසන විදේශියාවත් කිසිම වැඩක් නොකළ යුතුය.
30මක්නිසාද ඔබ සැමගේ සියලු පාපවලින් ඔබ සැම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පවිත්‍රවෙන පිණිස ඔබ සැම පවිත්‍රකරනු ලැබීමට ඒ දවසේ ඔබ සැම උදෙසා සමඟිකමක් කරනු ලබන්නේය.
31ඒක ඔබ සැමට ශුද්ධවූ නිවාඩුවක් වන සබතක්ය, ඔබ සැම ඔබ සැමගේ ආත්මවලට දුක් දිය යුතුය. එය සදාකාල නියෝගයක්ය.
32ආලේපය ලබා තමාගේ පියා වෙනුවට පූජකකම් කිරීමට පත්වෙන්නාවූ පූජකයා එසේ සමඟිකම කළ යුතුය. ඔහු හණ වස්ත්‍ර එනම් ශුද්ධ වස්ත්‍ර හැඳගන,
33අති ශුද්ධස්ථානය උදෙසා සමඟිකමක් කළ යුතුය, සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද පූජකයින්ද සභාවේ සියලු සෙනඟද උදෙසාත් සමඟිකමක් කළ යුතුය.
34ඉශ්රායෙල් පුත්‍රයන් උදෙසා ඔවුන්ගේ සියලු පව් ගැන අවුරුද්දකට වරක් සමඟිකමක් කරන පිණිස මේක ඔබ සැමට නිරන්තර පනතක් වන්නේයයි කීසේක. ඔහු ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළලෙස කෙළේය.