Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
17 verses
1ඔහුගේ පූජාව ශාන්ති පූජාවක් නම්, ඔහු ගවරැළෙන් පිරිමි සතෙකු හෝ ගෑනු සතෙකු හෝ පුදන්නේනම්, කැලල් නැති එකෙකු ස්වාමීන්වහන්සේ ඉදිරියේ පූජාකළ යුතුය.
2ඔහු තමාගේ අත තමාගේ පූජා සතාගේ ඉස පිට තබා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඌ මරාවා. ආරොන්ගේ පුත්රයන්වූ පූජකයෝ පූජාසනය පිට හාත්පසින් ඒ ලේ ඉසිත්වා.
3ඔහු අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල් සියල්ලද,
4වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟින් තිබෙන තෙලද වකුගඩු සමඟ අක්මාව පිට තිබෙන දැලද වෙන්කොට ස්වාමීන්වහන්සේට ශාන්ති පූජා යාගයෙන් ගින්නෙන් කළ පූජාවක් ඔප්පු කෙරේවා.
5ආරොන්ගේ පුත්රයෝ පූජාසනයෙහි ගින්නේ දර පිට තිබෙන දවන පූජාව මත්තෙහි එය දවත්වා. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳ පූජාවක්ය.
6ස්වාමීන්වහන්සේට ශාන්ති පූජාවක් පිණිස ඔහුගේ පූජාව එළු රැළෙන් හෝ බැටළු රැළෙන් නම් ඔහු කැලල් නැති පිරිමි සතෙකු හෝ ගෑනු සතෙකු හෝ පූජාකළ යුතුය.
7තමාගේ පූජාවකොට ඔහු බැටළු පැටවෙකු ඔප්පුකරන්නේනම් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඌ ඔප්පු කෙරේවා.
8ඔහු තමාගේ අත තමාගේ පූජා සතාගේ හිස පිට තබා සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට ඌ මරාවා. ආරොන්ගේ පුත්රයෝද උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිත්වා.
9ඔහු උගේ තෙල සහ පිටිකොන්ද ළඟින් කපාගන්න මුළු තර වල්ගයද අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල සියල්ලද,
10වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟ තිබෙන තෙලද වකුගඩු සමඟ අක්මාව පිට තිබෙන දැලද අහක්කොට ශාන්ති පූජාවෙන් ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක් ඔප්පුකෙරේවා.
11පූජකයාද ඒවා පූජාසනය පිට දැවිය යුතුය. ඒවා ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවේ ආහාරය වේ.
12ඔහුගේ පූජාව එළුවෙක් නම්, ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියේ ඌ පූජා කළ යුතුය.
13ඔහු තමාගේ අත උගේ හිස පිට තබා සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට ඌ මැරිය යුතුය. ආරොන්ගේ පුත්රයෝද උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිත්වා.
14ඔහු අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල් සියල්ලද වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟ තිබෙන තෙලද,
15වකුගඩු සමඟ අක්මාව පිට දැලද අහක්කොට ඒවායින් තමාගේ පූජාව එනම් ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක් ඔප්පුකළ යුතුය.
16පූජකයාද ඒවා පූජාසනය පිට දැවි��� යුතුය. ඒවා මිහිරි සුවඳක් පිණිස ගින්නෙන් කළ පූජාවේ ආහාරය වේ. තෙල සියල්ලම ස්වාමීන්වහන්සේට අයිතිය.
17ඔබ සැම විසින් තෙලවත් ලේවත් නොකෑ යුතුය යනු ඔබ සැමගේ පරම්පරාවල ඔබ සැමගේ සියලු වාසස්ථානවල නිරන්තර පනතක් වන්නේය.