Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
43 verses
1තවද ඔවුන් විසින් නොමැළිව නිතර යාච්ඤාකරන්ට ඕනෑ බව දක්වන පිණිස උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියනසේක්:
2දෙවියන්වහන්සේට භය නැත්තාවූ, මනුෂ්‍යයන්ට ගරු නොකළාවූ විනිශ්චයකාරයෙක් එක් නුවරක සිටියේය.
3ඒ නුවර වැන්දඹුවක්ද සිටියාය; ඈ නොයෙක්වර ඔහු ළඟට ගොස්: මාගේ විරුද්ධකාරයා ගැන මට යුක්තිය කළමැනවයි කීවාය.
4ඔහු කලක් නොකැමතිවිය. පසුව ඔහු තමා තුළ කථාකොට: මම දෙවියන්වහන්සේට භය නොවෙම් නුමුත්, මනුෂ්‍යයන්ට ගරු නොකරම් නුමුත්,
5මේ වැන්දඹුව මට කරදරකරන හෙයින්, ඈ නිතර ඊමෙන් මා නොපෙළෙන පිණිස, ඈට යුක්තිය කරන්නෙමියි කීයේයයි කීසේක.
6එවිට ස්වාමීන්වහන්සේ කියනසේක්: මේ අධිර්මිෂ්ඨ විනිශ්චයකාරයා කියන දේ අසන්න.
7දෙවියන්වහන්සෙත් තමන්ට රෑ දාවල් හඬගසන්නාවූ තමන් තෝරාගත්තවුන් ගැන යුක්තිය ඉෂ්ට නොකරනසේක්ද? උන්වහන්සේ ඔවුන් කෙරෙහි බොහෝ ඉවසිල්ලෙන් සිටිනසේක.
8උන්වහන්සේ ඔවුන්ට වහාම යුක්තිය ඉෂ්ටකරනසේකැයි නුඹලාට කියමි. එසේවී නුමුත් මනුෂ්‍ය පුත්‍රයා එන කල්හි පොළොවේ ඇදහිල්ල සම්බවේදැයි කීසේක.
9තවද තුමූම ධර්මිෂ්ඨයෝයයි විශ්වාසකොට, අනික් සියල්ලන් සුළුකළාවූ සමහරෙකුට උන්වහන්සේ මේ උපමාවද කියනසේක්:
10මනුෂ්‍යයෝ දෙදෙනෙක් යාච්ඤාකරන පිණිස දේවමාළිගාවට නැගී ගියෝය; එක්කෙනෙක් ඵරිසියෙක්ය, අනික් තැනැත්තා සුංගම් අයකරන්නෙක්ය.
11ඵරිසියා සිටගෙන තමා තුළ යාච්ඤාකරමින්: දෙවියන්වහන්ස, මම කොල්ලකාරවූ අධිර්මිෂ්ඨවූ කාමමිථ්‍යාචාරිකවූ අනික් මනුෂ්‍යයන් මෙන් කෙනෙක්වත් මේ සුංගම් අයකරන්නාමෙන් කෙනෙක්වත් නොවන බැවින් ඔබවහන්සේට ස්තුතිකරමි.
12සතියකට දෙවරක් නිරාහාරයෙන් සිටිමි; මට ලැබෙන සියල්ලෙන් දසයෙන් කොටස දෙමියි කීවේය.
13නුමුත් සුංගම් අයකරන්නා දුරින් සිට, ස්වර්ගය දෙසට ඇස් ඔසවා බලන්ටවත් නොසිතා, තමාගේ ළැපැත්තට ගසාගනිමින්: දෙවියන්වහන්ස, පව්කාරයෙක්වූ මට කරුණාකළ මැනවයි කීවේය.
14නුඹලාට කියමි-අනික් තැනැත්තා නොව මොහු ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලැබ තමාගේ ගෙදරට ගියේය. මක්නිසාද තමුන්ම උසස්කරගන්න හැමදෙනා යටත්කරනු ලබන්නෝය; තමාම යටත්කරගන්නා උසස්කරනු ලබන්නේයයි කීසේක.
15ඔව්හු තමුන්ගේ ළදරුවන් පිට උන්වහන්සේගේ අත් තබාගන්න පිණිස ඔවුන් උන්වහන්සේ ළඟට ගෙනාවෝය. ගෝලයෝ ඒ දැක ඔවුන්ට තරවටුකළෝය.
16නුමුත් යේසුස්��හන්සේ ඔවුන් තමන් ළඟට කැඳවා: ළදරුවන් නොවලක්වා මා ළඟට එන්ට ඉඩහරින්න; මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳුවන්ගේය.
17සැබවක් නුඹලාට කියමි-යමෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළදරුවෙකු මෙන් පිළි නොගන්නේද, ඔහු කිසිසේත් එහි ඇතුල් නොවන්නේයයි කීසේක.
18එවිට එක්තරා මුලාදෑනියෙක් උන්වහන්සේට කථාකොට: යහපත් ආචාරිනි, සදාකාල ජීවනය උරුමකරගන්නා පිණිස මම කුමක් කරම්දැයි ඇසුවේය.
19යේසුස්වහන්සේද: මට යහපත්යයි නුඹ කියන්නේ මක්නිසාද? එක්කෙනෙක්, එනම්, දෙවියන්වහන්සේ මිස වෙන කිසිවෙක් යහපත් නොවේ.
20කාමමිථ්‍යාචාරය නොකරව, මිනී නොමරව, සොරකම් නොකරව, බොරු සාක්ෂි නොකියව, නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව යන මේ ආඥා නුඹ දන්නවායයි ඔහුට කීසේක.
21මේ සියල්ල මාගේ යෞවන අවස්ථාවේ පටන් රක්ෂාකෙළෙමියි ඔහු කීවේය.
22යේසුස්වහන්සේ ඒ අසා: නුඹට තව එක දෙයක් අඩුය. නුඹ සන්තක සියල්ල විකුණා, දිළිඳුන්ට බෙදාදෙන්න, එවිට ස්වර්ගයෙහි නුඹට වස්තුව ලැබෙන්නේය. මා අනුවයන්ට එන්නැයි ඔහුට කීසේක.
23නුමුත් ඔහු ඒ අසා, බොහෝ ධනවත්ව සිටි බැවින්, අතිශයින් ශෝකවූයේය.
24යේසුස්වහන්සේ ඔහු දෙස බලා කියනසේක්: වස්තු ඇති අය දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙන්නේ කොපමණ අමාරුවෙන්ද!
25ධනවතෙකු දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීමට වඩා ඉදිකටුවක සිදුරෙන් ඔටුවෙකුගේ ගමන පහසුයයි කීසේක.
26ඒ ඇසූ අය: එසේවී නම් ගැළවෙන්ට පුළුවන් කාටදැයි කීවෝය.
27උන්වහන්සේද: මනුෂ්‍යයන්ට නුපුළුවන් දේ දෙවියන්වහන්සේට පුළුවනැයි කීසේක.
28එවිට පේතෘස් කථාකොට: අපි වනාහි අප සන්තක දේ අත්හැර ඔබවහන්සේ අනුව ආවෙමුයයි කීවේය.
29උන්වහන්සේ: සැබවක් නුඹලාට කියමි-දෙවියන්වහන්සේගේ රාජ්‍යය නිසා ගෙය හෝ භාර්යාව හෝ සහෝදරයන් හෝ දෙමවුපියන් හෝ දරුවන් හෝ අත්හැරිය කවරෙක් නුමුත්,
30මේ කාලයේදී ඊට බොහෝ වැඩියෙන්ද පරලොවදී සදාකාල ජීවනයද නොලැබ නොසිටින්නේයයි කීසේක.
31උන්වහන්සේ දොළොස්දෙනා තමන් ළඟට කැඳවා ඔවුන්ට කියනසේක්: බලව, අපි යෙරුසලමට යමුව, මනුෂ්‍ය පුත්‍රයා ගැන අනාගතවක්තෘවරුන් විසින් ලියා තිබෙන සියල්ල සම්පූර්ණවන්නේය.
32මක්නිසාද ඔහු අන්‍යජාතීන්ට පාවාදෙනු ලැබ, කවටකම් සහ නින්දාද කෙළගැසීමද ලබන්නේය.
33ඔව්හු ඔහුට තලා ඔහු මරන්නෝය. නුමුත් තුන්වෙනිදා ඔහු නැවත නැගිටින්නේයයි කීසේක.
34මේ දේවලින් කිසිවක් ඔව්හු තේරුම් නොගත්තෝය. කී දේ ඔවුන්ට නොතේරී, මේ කීම ඔවුන්ගෙන් සැඟවී තිබුණේය.
35තවද උන්වහන්සේ යෙරිකෝව ළඟට පැමිණි කල, එක්තරා අන්ධයෙක් සිඟමින් පාර අයිනේ ඉඳගන උන්නේය.
36සමූහයක් ඒ ළඟින් යනවා ඔහුට ඇසී, ඒ කුමක්දැයි ඇසුවේය.
37එවිට ඔව්හු නාසරිය යේසුස්වහන්සේ ඒ ළඟින් යන බව ඔහුට කීවෝය.
38ඔහුද: යේසුස්වහන්ස, දාවිත්ගේ පුත්‍රය, මට කරුණාකළ මැනවයි මොරගැසුවේය.
39පෙරටුවෙන් ගිය අය ඔහු නිශ්ශබ්ද වෙන පිණිස ඔහුට තරවටුකළෝය. නුමුත් ඔහු ශබ්ද නගා: දාවිත්ගේ පුත්‍රය, මට කරුණාකළ මැනවයි තව වඩ වඩා මොරගැසුවේය.
40යේසුස්වහන්සේ නැවතී සිට ඔහු තමන් ළඟට ගෙනෙන්ට අණකළසේක. ඔහු ළඟට ආ කල:
41මා විසින් නුඹට කුමක් කරනවාට නුඹ කැමැත්තෙහිදැයි ඔහුගෙන් ඇසූසේක. ස්වාමිනි, මට පෙනීම ලැබේවයි ඔහු කීවේය.
42යේසුස්වහන්සේ: පෙනීම ලබන්න. නුඹේ ඇදහිල්ල නුඹ සුවකෙළේයයි ඔහුට කීසේක.
43එකෙණෙහිම ඔහු පෙනීම ලැබ, දෙවියන්වහන්සේ වර්ණනාකරමින්, උන්වහන්සේ අනුව ගියේය. මුළු සෙනඟද ඒ දැක දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.