Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
47 verses
1පහන්වූ කෙණෙහිම නායක පූජකයෝ වැඩිමහල්ලන්ද ලියන්නන්ද මුළු මන්ත්‍රණ සභාවද සමඟ මන්ත්‍රණයක් පවත්වා, යේසුස්වහන්සේ බැඳගෙන ගොස් පිලාත්ට භාරදුන්නෝය.
2නුඹ යුදෙව්වරුන්ගේ රජදැයි පිලාත් උන්වහන්සේගෙන් ඇසුවේය. උන්වහන්සේ උත්තරදෙමින්: නුඹ කියන්නෙහියයි ඔහුට කීසේක.
3නායක පූජකයෝ බොහෝ දේ ගැන උන්වහන්සේට වරද තැබුවෝය.
4පිලාත් නැවත කථාකොට: නුඹ කිසි උත්තරයක් දෙන්නේ නැද්ද? මොවුන් නුඹට කොපමණ වරද තබනවාද කියා බලන්නැයි උන්වහන්සේට කීයේය.
5නුමුත් යේසුස්වහන්සේ තවත් කිසි උත්තරයක් නුදුන්සේක; එහෙයින් පිලාත් මවිතවිය.
6මංගල්‍යයේදී ඔවුන් ඉල්ලන හිරකාරයෙකු ඔහු විසින් ඔවුන්ට මුදාදෙන සිරිතක් තිබුණේය.
7කැරළිගසා, ඒ කැරළි ගැසීමේදී මිනීමැරු මිනිසුන් සමඟ බඳිනු ලැබූ බරබ්බස් නම් කෙනෙක් විය.
8සමූහයා නැගීගොස් ඔහු තමුන්ට කළ සිරිතේ හැටියට කරදෙන ලෙස ඔහුගෙන් ඉල්ලන්ට පටන්ගත්තෝය.
9පිලාත් උත්තරදෙමින්: මා විසින් යුදෙව්වරුන්ගේ රජ නුඹලාට නිදහස්කරදෙනවාට නුඹලා කැමතිදැයි ඔවුන්ගෙන් ඇසුයේය.
10මක්නිසාද නායක පූජකයන් විසින් ඊර්ෂ්‍යාවෙන් උන්වහන්සේ පාවා දුන් බව ඔහු දැනගන සිටියේය.
11නුමුත් එසේ නොව ඔහු විසින් බරබ්බස් ඔවුන්ට මුදා දෙන පිණිස නායක පූජකයෝ සමූහයා පෙලෙඹවුවෝය.
12පිලාත් නැවත ඔවුන්ට උත්තරදෙමින්: එසේනම් යුදෙව්වරුන්ගේ රජයයි නුඹලා කියන්නාවූ මොහුට කුමක් කරම්දැයි කීය.
13ඔහු කුරුසියෙහි ඇණගැසුව මැනවැයි නැවතත් ඔව්හු මොරගැසුවෝය.
14එකල පිලාත්: ඒ මන්ද? මොහු මොන නපුරක් කෙළේදැයි ඔවුන්ගෙන් ඇසුවේය. නුමුත් ඔව්හු: ඔහු කුරුසියෙහි ඇණගැසුව මැනවැයි අතිශයින් මොරගැසුවෝය.
15පිලාත් සමූහයා සතුටුකරන්ට කැමතිව, බරබ්බස් ඔවුන්ට මුදාදී, යේසුස්වහන්සේට තළවා, උන්වහන්සේ කුරුසියෙහි ඇණගසන්ට භාරදුන්නේය.
16හේවායෝ උන්වහන්සේ ප්‍රේතෝරියම්* නම් ශාලාව ඇතුළට ගෙනගොස්, මුළු හේවා සමුදාව රැස්කළෝය. (* මතෙව්
17ඔව්හු උන්වහන්සේට රත්නිල් වස්ත්‍රයක් අඳවා, කටු ඔටුන්නක් ගොතා උන්වහන්සේගේ හිසෙහි තබා:
18යුදෙව්වරුන්ගේ රජ්ජුරුවනි, ඔබට ශුභසිද්ධවේවයි කියා, උන්වහන්සේට ආචාරකරන්ට පටන්ගත්තෝය.
19ඔව්හු බට දණ්ඩකින් උන්වහන්සේගේ හිසට ගසා, උන්වහන්සේට කෙළගසා, දණ නමා උන්වහන්සේට නමස්කාරකළෝය.
20ඔව්හු උන්වහන්සේට සරදම්කළ පසු, රත්නිල් වස්ත්‍රය මුදා උන්වහන්සේගේම වස්ත්‍ර අඳවා, කුරුසියෙහි ඇණගසන පිණිස උන්වහන්සේ පිටතට ගෙනගියෝය.
21ඔව්හු අලෙක්සන්දර්ගෙත් රූපස්ගෙත් පියවූ, පිටිසරින් ඇවිත් ඒ මග ගියාවූ කිරේනියේ සීමොන් නම් කෙනෙකුට උන්වහන්සේගේ කුරුසිය උසුලාගන යන පිණිස ඔවුන් සමඟ යන්ට බලකළෝය.
22ඔව්හු ඉස්කබලස්ථානය යන අර්ථ ඇති ගොල්ගොතා නම්වූ ඉඩමට උන්වහන්සේ ගෙනගොස්,
23ගන්ධරස මිශ්‍රවූ මුද්‍රිකපානය උන්වහන්සේට දුන්නෝය. නුමුත් උන්වහන්සේ ඒ පිළිනොගත්සේක.
24ඔව්හු උන්වහන්සේ කුරුසියෙහි ඇණගසා, උන්වහන්සේගේ වස්ත්‍ර බෙදාගනිමින්, එක එකාට කුමක් ලැබේදෝ කියා ඒවා ගැන දාදු දැමුවෝය.
25එය තුන්වෙනි පැය විය, ඔව්හු උන්වහන්සේ කුරුසියෙහි ඇණ ගැසුවෝය.
26යුදෙව්වරුන්ගේ රජය කියා උන්වහන්සේගේ වරද පත්‍රය ලියා උඩින් තබා තිබුණේය.
27ඔව්හු සොරු දෙදෙනෙකු, එක්කෙනෙකු උන්වහන්සේගේ දකුණු පැත්තෙහිද එක්කෙනෙකු වම් පැත්තෙහිද උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගැසුවෝය.
28වෙනි පදයක් ඇතුළත්කර තිබේ: මෙසේ උන්වහන්සේ වරදකාරයන් සමඟ ගණන්ගනු ලැබුසේක යන ශුද්ධ ලියවිල්ල සම්පූර්ණවිය.)
29මග යන්නෝ තමුන්ගේ හිස් වන වනා උන්වහන්සේට අපහාසකරමින්: ඔහෝ! දේවමාළිගාව කඩාදමා තුන් දවසකින් ගොඩනගන්නාවු නුඹ,
30නුඹම ගැළවී කුරුසියෙන් බසින්නැයි කීවෝය.
31නායක පූජකයොත් ලියන්නන් සමඟ ඒ ආකාරයෙන්ම තමුන් අතරේ උන්වහන්සේට කවටකම්කරමින්: ඔහු අනුන් ගැළවුවේය; තමාම ගළවාගන්ට බැරිය.
32අප විසින් දැක අදහන පිණිස ඉශ්‍රායෙල්ගේ රජවූ ක්‍රිස්තුස් දැන් කුරුසියෙන් බසීවයි කීවෝය. උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබූ අයද උන්වහන්සේට නින්දාකළෝය.
33හවෙනි පැය පැමුණුණ විට, නවවෙනි පැය දක්වා රට මුළුල්ලේ අන්ධකාරයක් විය.
34නවවෙනි පැයේදී යේසුස්වහන්සේ: එලොයි, එලොයි, ලාමා සබක්තානි කියා මහත් හඬින් මොරගැසූසේක. එහි අර්ථය නම්, මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද යනුය.
35ළඟ සිටියවුන්ගෙන් සමහරෙක් ඒ අසා: අන්න, ඔහු එලියාට හඬගසනවායයි කීවෝය.
36කෙනෙක් දිවගොස් මූදුහත්තක් කාඩියෙන් පොඟවා බට දණ්ඩක ගසා උන්වහන්සේට බොන්ට දී: නිකම් සිටින්න; මොහු බස්වාගන්ට එලියා එන්නේදැයි බලමුයයි කීවෝය.
37යේසුස්වහන්සේ මහත් හඬක් නඟා ආත්මය හළසේක.
38එවිට දේවමාළිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩව ඉරුණේය.
39උන්වහන්සේ ඉදිරියෙහි සිටි සියයකට මුලාදෑනියා උන්වහන්සේ මෙසේ ආත්මය හළ බව දුටු කල: සැබෑවිටම මේ මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ පුත්‍රයායයි කීය. ස්ත්‍රීවරුද දුරින් බලාසිටියෝය.
40ඔවුන් අතරේ උන්වහන්සේ ගලීලයේ සිටි කල්හි උන්වහන්සේ කැටුව ගියාවූ,
41උන්වහන්සේට උපස්ථානකළාවූ මග්දලායේ මරියාත් කුඩා යාකොබ්ගේද යෝසෙස්ගේද මවුවූ මරියාත් සලෝමිත් උන්වහන්සේ සමඟ යෙරුසලමට ආවාවූ වෙන බොහෝ ස්ත්‍රීවරුත් සිටියෝය.
42ඒ දවස සූදානම්කිරීමේ දවස වන සබත් දවසට ප්‍රථම දවස බැවින්, සවස්වූ කල,
43ගරුතර මන්ත්‍රියෙක්වූ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන බලා සිටියාවූ අරිමාතියේ යෝසෙප් ඇවිත්, ධෛර්යගෙන පිලාත් ළඟට ගොස්, යේසුස්වහන්සේගේ මිනිය ඉල්ලුවේය.
44පිලාත් උන්වහන්සේ එපමණ ඉක්මනට නැසුණු බවට පුදුමවී, සියයකට මුලාදෑනියා කැඳවා, උන්වහන්සේ මැරී බොහෝවේලා ගියේදැයි ඇසුයේය.
45ඒ බව හෙතෙම සියයකට මුලාදෑනියාගෙන් දැනගෙන, යෝසෙප්ට මිනිය භාරදුන්නේය.
46ඔහු හණ රෙද්දක් මිලේට ගෙන, උන්වහන්සේ බාගෙන ඒ රෙද්දෙහි ඔතා, පර්වතයක කපනලද සොහොන්ගෙයක තබා, එහි දොරකඩට ගලක් පෙරළා තැබුවේය.
47මග්දලායේ මරියාද යෝසෙස්ගේ මවුවූ මරියාද උන්වහන්සේ තැබූ ස්ථානය දුටුවෝය.