Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
50 verses
1තවද උන්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි-මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය බලයෙන් යුක්තව පැමිණ තිබෙන බව දකින තෙක් කිසිසේත් මරණ රසය නොවිඳින්නෝයයි කීසේක.
2සදවසකට පසු යේසුස්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යොහන්ද පමණක් වෙන්කොට, ඔවුන් තමන් සමඟ උස් කන්දකට ගෙනගියසේක. උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන්වෙසක් වූසේක.
3උන්වහන්සේගේ වස්ත්‍ර පොළොවෙහි කවර අපුල්ලන්නෙකුටවත් සුදුකරන්ට බැරි තරම් ඉතා සුදුවී දීප්තිමත්විය.
4එවිට එලියා මෝසෙස් සමඟ ඔවුන්ට පෙනුණේය. ඔව්හු යේසුස්වහන්සේ සමඟ කථාකරමින් සිටියෝය.
5පේතෘස් යේසුස්වහන්සේට කථාකොට: රබ්බි, මෙහි සිටීම අපට හොඳය. ඔබට එකක්ද මෝසෙස්ට එකක්ද එලියාට එකක්ද බැගින් මණ්ඩප තුනක් සාදමුයයි කීවේය.
6මක්නිසාද ඔවුන් ඉතා භයපත්වූ බැවින්, කිය යුතු දේ කුමක්දැයි ඔහු නොදැන සිටියේය.
7තවද වලාපටලයක් පැමිණ ඔවුන් මත්තෙහි පැතිර තිබුණේය. එවිට: මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය. මොහුට ඇහුම් කන්දෙන්නැයි වලාකුළෙන් හඬක් නික්මුණේය.
8ඔව්හු හදිසියෙන් වටකර බලා, තමුන් සමඟ යේසුස්වහන්සේම මිස අන් කිසිවෙකු තවත් නුදුටුවෝය.
9ඔවුන් කන්දෙන් බසින කල, මනුෂ්‍ය පුත්‍රයා මළවුන්ගෙන් නැගිටින තුරු ඔවුන් දුටුදේ කාටවත් නොකියන ලෙස උන්වහන්සේ ඔවුන්ට අණකළසේක.
10මළවුන්ගෙන් නැගිටීම නම් කුමක්දැයි ඔව්හු ඔවුනොවුන් විචාරමින් ඒ කීම ධාරණයකරගත්තෝය.
11තවද ඔව්හු කථාකොට: එලියා පළමුවෙන් එන්ට ඕනෑයයි ලියන්නෝ මක්නිසා කියද්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
12උන්වහන්සේ කථාකොට: එලියා පළමුවෙන් ඇවිත් සියල්ල නැවත පිහිටුවන්නේමය. මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දේ විඳින්ටත් සුළුකරනු ලබන්ටත් ඕනෑයයි ඔහු ගැනත් ලියා තිබෙන්නේ කෙලෙසද?
13නුමුත් නුඹලාට කියමි-එලියා ආවේමය, ඔහු ගැන ලියා තිබෙන ලෙසම ඔව්හු තමුන් කැමතිදේ ඔහුට කළෝයයි කීසේක.
14ඔව්හු ගෝලයන් ළඟට ආ කල ඔවුන් අවට මහත් සමූහයක් සිටිනවාත් ලියන්නන් ඔවුන් සමඟ විවාදකරනවාත් දුටුවෝය.
15එකෙණෙහිම මුළු සමූහයා උන්වහන්සේ දුටු කල ඉතා විස්මිතව, ඉදිරියට දුවගොස් උන්වහන්සේට ආචාර කළෝය.
16නුඹලා ඔවුන් සමඟ කුමක් ගැන විවාදකරනවාදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක.
17සමූහයාගෙන් එක්කෙනෙක් උන්වහන්සේට උත්තර දෙමින්: ආචාරීන්වහන්ස, ගොළු ආත්මයක් ආවේශවූ මාගේ පුත්‍රයා ඔබවහන්සේ ළඟට ගෙනාවෙමි.
18ඒ ආත්මය, ඔහුට ආවේශවන කොතැනකදී නුමුත්, ඔහු බිම හෙළන්නේය. එවිට ඔහු පෙණදමා, දත්මිටිකා, දුර්වලවේගන යන්නේය. ඒ ආත්මය දුරුකරන ලෙස මම ඔබවහන්සේගේ ගෝලයන්ට කීයෙමි; නුමුත් ඔවුන්ට බැරිවියයි කීවේය.
19උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: අහෝ ඇදහිලි නැති පරම්පරාව, කොපමණ කල් නුඹලා සමඟ සිටිම්ද? කොපමණ කල් නුඹලා ගැන ඉවසම්ද? ඔහු මා ළඟට ගෙනෙන්නැයි කීසේක.
20එවිට ඔව්හු උන්වහන්සේ ළඟට ඔහු ගෙනාවෝය. ඔහු උන්වහන්සේ දුටු කෙණෙහිම ආත්මය ඔහු තදින් වෙවුලෙවුවේය; ඔහු බිම වැටී, පෙණදමමින්, පෙරළි පෙරළී හුන්නේය.
21මේක මොහුට පැමිණ කොපමණ කල්දැයි උන්වහන්සේ පියාගෙන් ඇසූ සේක. ඔහු උත්තරදෙමින්: ළදරු කාලේ පටන්ය.
22තවද ඒ ආත්මය නොයෙක්වර ඔහු විනාශකරන පිණිස ගින්නෙහිද වතුරෙහිද හෙළීය. ඔබට යමක් කරන්ට පුළුවන් නම්, අපට අනුකම්පාකර පිහිටවුව මැනවයි කීවේය.
23යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඔබට පුළුවන් නම්! විශ්වාසකරන්නාට සියල්ල පුළුවනැයි කීසේක.
24එකෙණෙහිම දරුවාගේ පියා: මම විශ්වාසකරමි; මාගේ විශ්වාසය මදිකමට පිහිටවුව මැනවයි මොරගසා කීවේය.
25සමූහයක් දුව එමින් රැස්වෙන බව යේසුස්වහන්සේ දුටු කල, උන්වහන්සේ අශුද්ධාත්මයට තරවටුකර: ගොළු බිහිරි ආත්මය, මොහු කෙරෙන් පහව යව, තවත් මොහුට ආවේශ නොවන්ට නුඹට අණකරමියි කීසේක.
26එවිට ආත්මය මොරගසා, බොහෝසේ ඔහු වෙවුලවමින්, පිටතට ආවේය. ඔහු මළ කෙනෙකු මෙන් විය; එබැවින් ඔහු මැරුණේයයි වැඩිදෙනා කීවෝය.
27නුමුත් යේසුස්වහන්සේ ඔහුගේ අත අල්ලා නැගිටෙවුසේක; එවිට ඔහු නැගිට සිටියේය.
28උන්වහන්සේ ගෙට පැමිණි කල උන්වහන්සේගේ ගෝලයෝ කථාකොට: ඒ ආත්මය දුරු කරන්ට අපට බැරිවුණේ මක්නිසාදැයි රහසින් උන්වහන්සේගෙන් විචාළෝය.
29උන්වහන්සේද යාච්ඤාවෙන් මිස වෙන ආකාරයකින් මේ ජාතිය දුරුකරන්ට නුපුළුවනැයි ඔවුන්ට කීසේක.
30ඔව්හු එතැනින් පිටත්ව ගලීලය මැදින් ගියෝය; ඒ බව කිසිවෙක් දැනගන්නවාට උන්වහන්සේ කැමති නොවූසේක.
31මක්නිසාද උන්වහන්සේ තමන් ගෝලයන්ට උගන්වමින්: මනුෂ්‍ය පුත්‍රයා මනුෂ්‍යයන්ගේ අත්වලට පාවාදෙනු ලැබේ, ඔව්හුද ඔහු මරන්නෝය; මරනු ලැබූ පසු, තුන් දවසකින් ඔහු නැවත නැගිටින්නේයයි ඔවුන්ට කීසේක.
32නුමුත් ඒ කීම ඔවුන්ට තේරුණේ නැත, උන්වහන්සේගෙන් අසන්ටද ඔව්හු භය වූවෝය.
33ඔව්හු කපර්ණවුමට ආවෝය. උන්වහන්සේ ගෙයි සිටි කල: නුඹලා මාර්ගයේදී කුමක් ගැන විවාදකළහුදැයි ඔවුන්ගෙන් ඇසූසේක.
34නුමුත්: වඩා උතුම් තැනැත්තා කවුදැයිකියා ඔවුන් මාර්ගයේදී තමුන් අතරේ විවාදකළ බැවින් ඔව්හු කථා නොකර සිටියෝය.
35එකල උන්වහන්සේ වාඩිවී, දොළොස්දෙනා කැඳවා: යමෙක් පළමුවෙනියා වෙන්ට කැමති නම් ඔහු සියල්ලන්ට අන්තිමයාත් සියල්ලන්ගේ සේවකයාත් වේවයි ඔවුන්ට කීසේක.
36උන්වහන්සේ කුඩා දරුවෙකු ගෙන ඔවුන් මැද සිටුවා, ඔහු වඩාගෙන:
37මෙබඳු කුඩා දරුවන්ගෙන් එක්කෙනෙකු මාගේ නාමයෙන් පිළිගන්නාවු කවරෙක් නුමුත් මා පිළිගන්නේය. මා පිළිගන්න කවරෙක් නුමුත් මා පිළිගන්නවා නොව මා එවූ තැනන්වහන්සේ පිළිගන්නේයයි ඔවුන්ට කීසේක.
38යොහන් උන්වහන්සේට කථාකොට: ආචාරිනි, ඔබගේ නාමයෙන් කෙනෙක් යක්ෂයන් දුරුකරනවා දුටිමුව. ඔහු අප අනුව නේන නිසා අපි ඔහුට තහනම් කෙළෙමුයයි කීවේය.
39නුමුත් යේසුස්වහන්සේ කියනසේක්: ඔහුට තහනම් නොකරන්න. මක්නිසාද මාගේ නාමයෙන් බලවත් ක්‍රියාවක් කරන කිසිවෙකුට මා ගැන ඉක්මනින්ම නපුර කථාකරන්ට නොහැකිවේ.
40අපට විරුද්ධ නැති තැනැත්තේ අපගේ පක්ෂයටය.
41නුඹලා ක්‍රිස්තුස්වහන්සේට අයිතිය කියා යමෙක් ඒ නාමයෙන් නුඹලාට බොන්ට වතුර කෝප්පයක් දෙන්නේද, ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේයයි සැබවින් නුඹලාට කියමි.
42තවද මා කෙරේ අදහන මේ බාලයන්ගෙන් එකෙකුටවත් බාධාකරන්නෙක් ඇද්ද ඔහුගේ බෙල්ලේ මහත් ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළනු ලැබීම ඔහුට හොඳය.
43නුඹේ අත නුඹට බාධාකෙරේ නම්, ඒක කපාදමන්න. අත්දෙක ඇතුව නිරයට එනම් නොනිවෙන ගින්නට පැමිණීමට වඩා අබ්බාගාතව ජීවනයට ඇතුල්වීම නුඹට හොඳය.
44(නිරයේදී ඔවුන්ගේ පණුවා නසින්නේවත් ගින්න නිවෙන්නේවත් නැත.)
45නුඹේ පය නුඹට බාධාකෙරේ නම් ඒක කපාදමන්න. දෙපය ඇතුව නිරයෙහි හෙළනු ලැබීමට වඩා කොරව ජීවනයට ඇතුල්වීම නුඹට හොඳය.
46(නිරයේදී ඔවුන්ගේ පණුවා නසින්නේවත් ගින්න නිවෙන්නේවත් නැත.)
47නුඹේ ඇස නුඹට බාධාකරේ නම් ඒක උගුලාදමන්න. ඇස් දෙක ඇතුව නිරයේ හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇතුව දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීම නුඹට හොඳය.
48නිරයේදී ඔවුන්ගේ පණුවා නසින්නේවත් ගින්න නිවෙන්නේවත් නැත.
49සියල්ලෝම ගින්නෙන් ලුණුලනු ලබන්නෝය.
50ලුණු හොඳය. නුමුත් ඒවායේ ලුණු ගතිය නැතිවුණොත් ඒවා රස කරන්නේ කුමකින්ද? නුඹලා තුළ ලුණු ඇතුව සිටින්න, එකිනෙකා සමඟ සමාදානයෙන් සිටින්නැයි කීසේක.