Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
35 verses
1ඒ පැයේදී ගෝලයෝ යේසුස්වහන්සේ ළඟට ඇවිත්: ඉඳින් ස්වර්ගරාජ්‍යයෙහි ඉතා උතුම් වන්නේ කවුදැයි ඇසුවෝය.
2උන්වහන්සේ කුඩා දරුවෙකු තමන් ළඟට කැඳවා ඔවුන් මැද සිටුවා:
3සැබවක් නුඹලාට කියමිනුඹලා හැරී කුඩා දරුවන් මෙන් නූණොත්, කිසිසේත් ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නහුය.
4එබැවින් මේ කුඩා දරුවා මෙන් යටත්වන කවුරු නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි ඉතා උතුම් තැනැත්තාය.
5තවද යමෙක් මාගේ නමින් මෙබඳු කුඩා දරුවෙකු පිළිගන්නේද ඔහු මා පිළිගන්නේය.
6නුමුත් මා කෙරෙහි අදහන මේ බාලයන්ගෙන් එක්කෙනෙකුටවත් බාධා කරන යමෙක් ඇද්ද ඔහුගේ බෙල්ලේ මහත් ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ ගැඹුරෙහි ගිල්වීම ඔහුට යහපත.
7බාධා නිසා ලොවට දුක්වේ! මක්නිසාද බාධා පැමිණෙන්ට ඕනෑය; නුමුත් යමෙකු කරණකොටගෙන බාධාව පැමිණේද ඒ තැනැත්තාට දුක්වේ!
8නුඹේ අත හෝ පය හෝ නුඹට බාධාකෙරේ නම් ඒක කපා අහක දමන්න. දෑත හෝ දෙපය හෝ ඇතුව සදාකාල ගින්නට හෙළනු ලැබීමට වඩා අබ්බාගාතව නොහොත් කොරව ජීවනයට පැමිණීම නුඹට යහපත.
9නුඹේ ඇස නුඹට බාධා කෙරේ නම් ඒක උගුළා අහක දමන්න. ඇස් දෙකක් ඇතුව නිරාගින්නට හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇතුව ජීවනයට පැමිණීම නුඹට යහපත.
10මේ බාලයන්ගෙන් එකෙකුටවත් හෙළා නොදක්නා ලෙස බලාගන්න.
11මක්නිසාද ස්වර්ගයේදී ඔවුන්ගේ දූතයෝ ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ මුහුණ නිතරම දකිතියි නුඹලාට කියමි.
12නුඹලා සිතන්නේ මොකද? යම් මනුෂ්‍යයෙකුට බැටළුවන් සියයක් ඇත්නම්, උන්ගෙන් එකෙක් මුළාව ගියොත්, ඔහු ඉතිරි අනූනවදෙනා අත්හැර, කඳුවලට ගොස්, මුළාව ගිය එකා සොයන්නේ නැද්ද?
13ඌ සම්බවුණොත් මුළාව නොගිය අනූනවදෙනා ගැන සන්තෝෂවෙනවාට වඩා ඌ ගැන සන්තෝෂවන්නේයයි ඒකාන්තයෙන් නුඹලාට කියමි.
14එසේම මේ බාලයන්ගෙන් එක්කෙනෙක්වත් විනාශවෙනවාට ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ කැමති නොවනසේක.
15තවද නුඹේ සහෝදරයා නුඹට විරුද්ධව වරදකළොත්, ගොස්, ඔහු සමඟ තනිව සිට ඔහුගේ වරද පෙන්වා දෙන්න. නුඹ කී දේ ඔහු ඇසුවොත් නුඹ නුඹේ සහෝදරයා දිනාගත්තෙහිය.
16නෑසුවොත් සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ මුඛයෙන් සි��ලු වචන ස්ථිරවන පිණිස නුඹ සමඟ තවත් එක්කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගන යන්න.
17ඔහු ඔවුන් කී දේත් පිළිනොගත්තොත්, සභාවට කියන්න. සභාව කී දේත් පිළිනොගත්තොත්, ඔහු නුඹට අන්‍යජාතියෙක් මෙන්ද සුංගම් අයකරන්නෙක් මෙන්ද වේවා.
18සැබවක් නුඹලාට කියමි: නුඹලා පොළොවේදී යමක් යමක් බඳිනවාද, ඒක ස්වර්ගයේදී බඳිනු ලබන්නේය. පොළොවේදී යමක් යමක් මුදනවාද, ඒක ස්වර්ගයේදී මුදනු ලබන්නේය.
19නැවතත් නුඹලාට කියමි: පොළොවේදී නුඹලාගෙන් දෙදෙනෙක් තමුන් ඉල්ලන යමක් ගැන එක්සිත්වන්නෝ නම්, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගෙන් ඒ දේ ඔවුන්ට ලැබෙන්නේය.
20මක්නිසාද දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමියි කීසේක.
21එකල පේතෘස් උන්වහන්සේ ළඟට ඇවිත්: ස්වාමිනි, මට වරදකරන මාගේ සහෝදරයාට කීවරක් කමාවෙන්ටද? සත්වරක් දක්වාදැයි උන්වහන්සේගෙන් ඇසුවේය.
22යේසුස්වහන්සේ ඔහුට කථාකොට: සත්වරක් නොව සැත්තෑවර සත්වරක්යයි කියමි.
23එබැවින් තමාගේ දාසයන් සමඟ ගණන් බලන්ට කැමතිවු රජෙකුට ස්වර්ගරාජ්‍යය උපමාකරනු ලැබේ.
24ඔහු ගණන් බලන්ට පටන්ගත් කල, තලෙන්ත දස දහසක් ණයවූ එක්කෙනෙක් ඔහු ළඟට ගෙනෙනලද්දේය.
25ණය ගෙවන්ට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ඔහුගේ ස්වාමියා ඔහුද ඔහුගේ භාර්යාවද දරුවන්ද ඔහු සන්තක සියල්ලද විකුණා ණය ගෙවන්ට ආඥාකෙළේය.
26එවිට ඒ දාසයා බිම වැටී වැඳ: ස්වාමිනි, මා ගැන ඉවසුව මැනවි, නුඹවහන්සේට සියල්ලම ගෙවන්නෙමියි කීවේය.
27ඒ දාසයාගේ ස්වාමියා අනුකම්පාකොට, ඔහු මුදාහැර ඒ ණය ඔහුට කමාකෙළේය.
28එහෙත් ඒ දාසයා පිටත්ව ගොස්, තමාගේ සහකාර දාසයන්ගෙන් තමාට මසු සියයක් ණයවූ එක්කෙනෙකු දැක, ඔහු අල්වා, ඔහුගේ බෙල්ල මිරිකාගෙන: ණය ගෙවන්නැයි කීවේය.
29එවිට ඔහුගේ සහකාර දාසයා බිම වැටී: මා ගැන ඉවසුව මැනවි, නුඹට ගෙවන්නෙමියි කන්නලව්කෙළේය.
30නුමුත් ඔහු නොකමැතිව, ගොස් ණය ගෙවන තුරු ඔහු හිරගෙයි දැම්මේය.
31ඔහුගේ සහකාර දාසයෝ සිද්ධවූ දේ දැක, ඉතා ශෝකව, ඇවිත් සිදුවූ සියල්ල තමුන්ගේ ස්වාමියාට කීවෝය.
32එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කථාකොට: නපුරු දාසය, නුඹ මාගෙන් ඉල්ලූ නිසා ඒ ණය සියල්ල නුඹට කමාකෙළෙමි.
33මා විසින් නුඹට කරුණාකළා සේම නුඹ විසිනුත් නුඹේ සහකාර දාසයාට කරුණාකරන්ට යුතුව තිබුණා නොවේදැයි කීවේය.
34ඔහුගේ ස්වාමියා කෝපව, තමාට ණයව තිබුණු සියල්ල ඔහු විසින් ගෙවන තුරු ඔහු වධකයන්ට භාරදුන්නේය.
35නුඹලාත් එකිනෙකා තම තමාගේ සහෝදරයාට සිතින් කමා නොකරනවා නම් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේද නුඹලාට එසේම කරනවා ඇතැයි කීසේක.