Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
46 verses
1එකල තමුන්ගේ පහන් රැගෙන මනමාලයාගේ පෙරමගට ගිය කන්‍යාවන් දස දෙනෙකුට ස්වර්ග රාජ්‍යය සමානකරනු ලැබේ.
2ඔවුන්ගෙන් පස්දෙනෙක් නුවණ නැත්තියෝය, පස්දෙනෙක් නුවණ ඇත්තියෝය.
3මක්නිසාද නුවණ නැත්තියෝ තමුන්ගේ පහන් ගෙනයද්දී තමුන් සමඟ තෙල් නොගෙනගියෝය.
4නුමුත් නුවණ ඇත්තියෝ තමුන්ගේ පහන් සමඟ තමුන්ගේ භාජනවල තෙල් ගෙනගියෝය.
5මනමාලයාගේ ඊම ප්‍රමාදවූ කල ඒ සියල්ලෝම නිදිබරව නිදාගත්තෝය.
6මධ්‍යම රාත්‍රියේ: අන්න, මනමාලයා එනවා! ඔහුගේ පෙරමගට එන්නැයි හඬක් වූයේය.
7එවිට ඒ සියලු කන්‍යාවෝ නැගිට තමුන්ගේ පහන් හරිගැස්සුවෝය.
8එකල නුවණ නැත්තියෝ: අපේ පහන් නිවීගන යන නිසා නුඹලාගේ තෙලින් අපටත් දෙන්නැයි නුවණ ඇත්තියන්ට කීවෝය.
9නුමුත් නුවණ ඇත්තියෝ උත්තරදෙමින්: සමහරවිට අපටත් නුඹලාටත් මදිවෙයි. එසේ නොව විකුණන්නන් ළඟට ගොස්, නුඹලාටම මිලේට ගන්නැයි කීවෝය.
10මිලේට ගන්ට ඔවුන් ගිය අතර මනමාලයා ආවේය; සෑදී සිටියෝ ඔහු සමඟ සරණ මංගල්‍යයට ඇතුල්වූවෝය. දොරද වසනලද්දේය.
11පසුව අනික් කන්‍යාවොත් ඇවිත්: ස්වාමිනි, ස්වාමිනි, අපට දොර හැරිය මැනවයි කීවෝය.
12නුමුත් ඔහු උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි, මම නුඹලා නාඳුනමියි කීවේය.
13එබැවින් දවසවත් පැයවත් නුඹලා නොදන්න නිසා අවදිව සිටින්න.
14කුමක්හෙයින්ද එය වනාහි අන් රටකට යන මනුෂ්‍යයෙක් තමාගේ දාසයන් කැඳවා, ඔවුන්ට තමා සන්තක දේ භාරදෙන්නාක්මෙන්ය.
15ඔහු එක්කෙනෙකුට තලෙන්ත පහක්ද එක්කෙනෙකුට දෙකක්ද එක්කෙනෙකුට එකක්ද බැගින් එකිනෙකාගේ පුළුවන් කමේ හැටියට දී තමාගේ ගමන ගියේය.
16තලෙන්ත පහ ලැබූ තැනැත්තේ එවලේම ගොස් එයින් වෙළඳාම්කොට තවත් තලෙන්ත පහක් ඉපදවූයේය.
17එසේම දෙක ලැබූ තැනැත්තේද තවත් දෙකක් උපදවාගත්තේය.
18නුමුත් එක ලැබූ තැනැත්තේ ඉවත්ව ගොස් පොළොව හාරා, තමාගේ ස්වාමියාගේ මිල සඟවා තැබුවේය.
19බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා ඇවිත් ඔවුන් සමඟ ගණන් බැලුවේය.
20එවිට තලෙන්ත පහ ලැබූ තැනැත්තේ තවත් තලෙන්ත පහක් ගෙනැවිත්: ස්වාමිනි, ඔබ මට තලෙන්ත පහක් භාරදුන්නෙහිය. මෙන්න, තවත් තලෙන්ත පහක් උපදවාගතිමියි කීවේය.
21ඔහුගේ ස්වාමියා ඔහුට කථාකොට: යහපත්වූ විශ්වාසවූ දාසය,ඒ යහපත ස්වල්ප දේ ගැන නුඹ විශ්වාසවූවෙහිය, බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල්වෙන්නැයි ඔහුට කීවේය.
22තලෙන්ත දෙක ලැබූ තැනැත්තේද ඇවිත්: ස්වාමිනි, ඔබ මට තලෙන්ත දෙකක් භාරදුන්නෙහිය. මෙන්න, තවත් තලෙන්ත දෙකක් උපදවාගතිමියි කීවේය.
23ඔහුගේ ස්වාමියා ඔහුට කථාකොට: යහපත්වු විශ්වාසවූ දාසය, ඒ යහපත; ස්වල්ප දේ ගැන නුඹ විශ්වාසවූවෙහිය, බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල්වෙන්නැයි ඔහුට කීවේය.
24එක තලෙන්තය ලැබු තැනැත්තේද ඇවිත්: ස්වාමිනි, ඔබ නොවපුළ තැනින් කපාගන්නාවූ, නොඉස්ස තැනින් රැස්කරන්නාවූ, කර්කස මනුෂ්‍යයෙකු බව දැනගතිමි.
25එබැවින් මම භයව ගොස්, ඔබගේ තලෙන්තය පොළොවේ සඟවා තැබීමි, මෙන්න, ඔබ සන්තක දේයයි කීවේය.
26ඔහුගේ ස්වාමියා ඔහුට උත්තරදෙමින්: දුෂ්ටවූ අලසවූ දාසය, මා නොවපුළ තැනින් කපාගන්න බවත් නොඉස්ස තැනින් රැස්කරගන්න බවත් නුඹ දැනගෙන සිටියෙහිද!
27එසේ නම් මාගේ මුදල මිල ගනුදෙනුකරන්නන්ට නුඹ විසින් දිය යුතුව තිබුණේය, එවිට මා ආ කල මට අයිති දේ පොළියත් සමඟ ලබන්ට තිබුණේය.
28එබැවින් ඔහුගෙන් තලෙන්තය හැරගෙන තලෙන්ත දසය ඇත්තාට දෙන්න.
29මක්නිසාද ඇති තැනැත්තාට දෙනු ලබන්නේය, ඔහුට බොහෝ වන්නේය. නුමුත් නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් පහකරනු ලබන්නේය.
30ඒ නිෂ්ප්රයෝජන දාසයා පිටත අන්ධකාරයෙහි දමන්න. එහිදී හැඬීමත් දත්මිටිකෑමත් වන්නේයයි කීවේය.
31මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩ හිඳිනසේක.
32එවිට සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස්කරනු ලබන්නෝය. උන්වහන්සේ එඬේරෙකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නාක්මෙන් ඔවුන් වෙන්කොට,
33බැටළුවන් තමන්ගේ දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද සිටුවනසේක.
34එවිට රජ්ජුරුවෝ තමන්ගේ දකුණු පැත්තේ සිටින්නන්ට කියනසේක්: මාගේ පියාණන්ගෙන් ආශීර්වාදලත්තෙනි, එන්න, ලෝකය පටන්ගැන්මේ සිට නුඹලාට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න.
35මක්නිසාද මම බඩගිනිව සිටියෙමි, නුඹලා මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි, නුඹලා මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි, නුඹලා මා පිළිගත්තහුය;
36වස්ත්‍ර නැතුව සිටියෙමි, නුඹලා මට ඇඳුම් දුන්නහුය. රෝගාතුරව සිටියෙමි, නුඹලා මා බලන්ට ආවහුය. හිරගෙයි සිටියෙමි, නුඹලා මා වෙතට ආවහුයයි කියනසේක.
37එකල ධර්මිෂ්ඨයන් උත්තරදෙමින්: ස්වාමිනි, කොයි කලෙක ඔබවහන්සේ බඩගිනිව සිටිනවා දැක කෑම දුනිමුද? නොහොත් පිපාසිතව සිටිනවා දැක බොන්ට දුනිමුද?
38කොයි කලෙක ඔබවහන්සේ ආගන්තුකව සිටිනවා දැක පිළිගතිමුද? නොහොත් වස්ත්‍ර නැතුව සිටිනවා දැක ඇඳුම් දුනිමුද?
39කොයි කලෙක ඔබ රෝගාතුරවවත් හිරගෙයිවත් සිටිනවා දැක ඔබ ළඟට ආවෙමුදැයි කියනවා ඇත.
40එවිට රජ්ජුරුවෝ උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි-මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක.
41එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කියනසේක්: ශාපලත්තෙනි, මා කෙරෙන් පහව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම්කර තිබෙන සදාකාල ගින්නට යන්න.
42මක්නිසාද මම බඩගිනිව සිටියෙමි. නුඹලා මට කන්ට නුදුන්නහුය. පිපාසිතව සිටියෙමි. නුඹලා මට බොන්ට නුදුන්නහුය.
43ආගන්තුකව සිටියෙමි, නුඹලා මා පිළිනොගත්තහුය; වස්ත්‍ර නැතුව සිටියෙමි, නුඹලා මට ඇඳුම් නුදුන්නහුය; රෝගාතුරවද හිරගෙයිද සිටියෙමි, නුඹලා මා බලන්ට නාවහුයයි කියනසේක.
44එවිට ඔවුනුත් උත්තරදෙමින්: ස්වාමිනි, අපි කොයි කලෙක ඔබ බඩගිනිව හෝ පිපාසිතව හෝ ආගන්තුකව හෝ වස්ත්‍ර නැතුව හෝ රෝගාතුරව හෝ හිරගෙයි හෝ සිටිනවා දැක ඔබවහන්සේට උපස්ථාන නොකෙළෙමුදැයි කියනවා ඇත.
45එවිට උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි මොවුන්ගෙන් ඉතා කුඩා කෙනෙකුටවත් එසේ නොකර සිටියහුද ඒක නොකළේ මටයයි කියනසේක.
46මොව්හු සදාකාල දඬුවමටත් ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනයටත් යන්නෝයයි කීසේක.