Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
19 verses
1ලේ වගුරුවන නුවරට දුක්වේ! ඒක මුළුල්ලම වංචාවෙන්ද බලාත්කාරයෙන්ද පිරී තිබේ; කොල්ලකෑම නොනවතියි.
2කස ශබ්දයත් චක්‍ර කරකැවෙන ශබ්දයත් ඇත්තේය; අශ්වයෝ වේගයෙන් දුවති, රථද පැනයති;
3අසරුවෝ නගිති, කඩුව දිලිහෙන්නේය, හෙල්ලයද බැබළෙන්නේය; සමූහයක් මැරුම්කන්නේය, මළකඳන් ගොඩගැසී තිබේ. මළකඳන් නිමක් නැත; ඔවුන්ගේ මළකඳන්වල හැපී ඔව්හු පැකිලෙති.
4මෙසේ වෙන්නේ මන්ත්‍රකාරීවූ ඉතා ශෝභමාන වේශ්‍යාවීගේ වේශ්‍යාකම් රාශිය නිසාය; ඇගේ වේශ්‍යාකම්වලින් ඈ ජාතීන්ද ඇගේ මන්ත්‍රවලින් පවුල්ද විකුණන්නීය.
5බලව, මම නුඹට විරුද්ධයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; මම නුඹේ කඩ නුඹේ මුහුණ පිට හෙළා, ජාතීන්ට නුඹේ නග්නකමද රාජ්‍යවලට නුඹේ ලජ්ජාවද පෙන්වන්නෙමි.
6පිළිකුල් දේවල් නුඹ පිට හෙළා, නුඹට අගෞරව කර, නුඹ කෝලමක් කරන්නෙමි.
7නුඹව දකින සියල්ලෝද නුඹ වෙතින් පලාගොස් කථාකොට: නිනිවය නාස්තිවිය, ඈට අනුකම්පාව පෙන්වන්නේ කවුද? සනසන්නන් මම කොතනින් නුඹට සොයාදෙන්නෙම්දැයි කියන්නෝය.
8නුඹ නෝ-ආමොන්ට වඩා හොඳද? ඈ ගංගා අතරේ පිහිටා, ඈ වටකරින් ජල ඇතුව තිබුණාය; ඇගේ අගළ මුහුද විය, ඇගේ ප්‍රාකාරය මුහුදේ පිහිටුවා තිබුණේය.
9කූෂ් සහ මිසරය ඇගේ බලයය, නිමක්ද නැත; පූට් සහ ලූබ්වරු නුඹේ උපකාරකාරයෝ වූවෝය.
10නුමුත් ඈ පවා අසුවී වහල්කමට ගියාය. ඇගේ දරුවෝද සියලු වීථි සන්ධිවල බිමගසා මරනු ලැබුවෝය. ඇගේ නම්බුකාරයන් ගැන පසඇට දැමුවෝය, ඇගේ සියලු උත්තමයෝ දම්වැල්වලින් බඳිනු ලැබුවෝය.
11නුඹත් මත්වී සැඟවෙන්නෙහිය; නුඹත් සතුරාගෙන් ගැළවෙන්ට රක්ෂස්ථානයක් සොයන්නෙහිය.
12නුඹේ සියලු බලකොටු ප්‍රථම ඵල ඇති අත්තික්කා ගස් වාගේය. ඒවා සෙලවුවොත් කන්නාගේ කටට වැටෙනවා ඇත.
13නුඹ තුළ සිටින නුඹේ සෙනඟ ගැහැනුය; නුඹේ දේශයේ දොරවල් නුඹේ සතුරන්ට සම්පූර්ණයෙන් ඇරලා තිබේ. නුඹේ අගුල් ගින්නෙන් දාලාගියේය.
14වටලෑම නිසා වතුර ඇද තබාගන්න, නුඹේ බලකොටු සවිකරන්න. මැටි පිටට පැමිණ, බදාම පාගා, ගඩොල් වැඩ සවිකරන්න.
15එහි ගින්න නුඹ දවාදමන්නේය; කඩුවද නුඹව සිඳදමන්නේය, කෙඳි-පළඟැටියන් වාගේ එය නුඹ කාදමන්නේය. කෙඳි-පළඟැටියන් මෙන් වැඩිවෙන්න, පළඟැටියන් මෙන් වැඩිවෙන්න.
16නුඹ නුඹේ වෙළඳුන් අහසේ තාරකාවලට වඩා වැඩිකරගත්තෙහිය. කෙඳි-පළඟැටියෝ පැතිර ඉගිලීගියෝය.
17නුඹේ උත්තමයෝ පළඟැටියන් මෙන්ය, නුඹේ සේනාපතියෝ පළඟැටි රාශියක් මෙන්ය, උන් ශීතල දවසේදී තාප්පවල රැස්වී ඉඳ, ඉර පායන කල පලායති, උන් ඉන්න ඉඩමද කිසිවෙක් දන්නේ නැත.
18අෂූර් රජ්ජුරුවෙනි, නුඹේ එඬේරු නිදාහිඳිති. නුඹේ උත්තමයෝ සැතපෙති. නුඹේ සෙනඟ කඳුවල විසිරී ගියෝය, ඔවුන් එකතුකරන්ට කිසිවෙක්ද නැත.
19නුඹේ තුවාලයට සහනයක් නැත; නුඹට වැදුණු පහර තදය. නුඹේ ප්‍රවෘත්තිය අසන සියල්ලෝ නුඹට විරුද්ධව අත්පොළසන්දෙති; මක්නිසාද නුඹේ දුෂ්ටකම නිතරම නොපැමුණුණේ කා පිටටද?