Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
30 verses
1ඒ දවසේ සෙනඟ ඉදිරියෙහි මෝසෙස්ගේ පොත කියවද්දී: අම්මොන්වරුන්ද මෝවබ්වරුන්ද රොටි සහ වතුර රැගෙන ඉශ්රායෙල් පුත්‍රයන්ගේ පෙරමඟට නෑවිත් ඔවුන්ට ශාප කරන පිණිස බාලාම් කුලියට ගත් නිසා,
2අම්මොනියයෙක්වත් මෝවබියයෙක්වත් දෙවියන්වහන්සේගේ සභාවට කිසිකලක ඇතුල් නොවන්නේය කියා ලියා තිබෙනවා සම්බවිය. ඒ ශාපය අපේ දෙවියන්වහන්සේ ආශීර්වාදයකට හැරෙවූසේක.
3තවද ඔව්හු ව්‍යවස්ථාව අසා, මුළු මිශ්‍ර සමූහයා ඉශ්‍රායෙල්ගෙන් වෙන්කළෝය.
4මීට පළමුවෙන් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ ඇතුල් ගෙවල් කෙරෙහි පත්ව සිටියාවූ, ටෝබියාට නෑකම් ඇත්තාවූ,
5පූජකවූ එලියාෂීබ් ආහාර පූජාද තුවරලාද භාණ්ඩද, ලෙවීවරුන්ගෙත් ගීතිකාකාරයන්ගෙත් දොරටුපාලයන්ගෙත් නියම කොටසවූ ධාන්‍යයෙන් සහ මුද්‍රික යුෂයෙනුත් තෙලිනුත් දසයෙන් කොටසද, පූජකයන්ට ලැබෙන එසවීම් පූජාද, පළමු තැබූ ස්ථානයෙහි, ටෝබියාට මහත් ඇතුල් ගෙයක් සාදාදී තිබුණේය.
6ඒ සියල්ලේදී මම යෙරුසලමෙහි නොසිටියෙමි. මක්නිසාද බබිලෝනියේ රජවූ අර්තක්ෂස්තාගේ තිස්දෙවෙනි අවුරුද්දේදී මම රජු ළඟට ගියෙමි, තවද දවස් ගණනකට පසු රජුගෙන් අවසර ඉල්ලාගෙන,
7යෙරුසලමට ආවෙමි. එවිට එලියාෂීබ් දෙවියන්වහන්සේගේ ගෘහයේ මළුවල ටෝබියාට ඇතුල් ගෙයක් සූදානම්කර දීමෙන් ඔහු උදෙසා කළ නපුර දැනගත්තෙමි.
8ඊට මම ඉතා අප්‍රසන්නවී, ටෝබියාගේ ගෙයි බඩු සියල්ල ඇතුල් ගෙයින් පිටතට දැමුවෙමි.
9එවිට මාගේ ආඥාව පිට ඔව්හු ඇතුල් ගෙවල් පිරිසිදුකළෝය. තවද දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩද ආහාර පූජාද තුවරලාද මම නැවත එතැනට ගෙනායෙමි.
10ලෙවීවරුන්ගේ කොටස් ඔවුන්ට නුදුන් බවද වැඩපළ කරන ලෙවීවරුන්ද ගීතිකාකාරයන්ද තම තමුන්ගේ කෙත්වලට පලාගිය බවද දැක,
11මම මුලාදෑනීන්ට කථාකර: දෙවියන්වහන්සේගේ ගෘහය අත්හරිනු ලැබුවේ මක්නිසාද කියා තරවටුකෙළෙමි. තවද මම ඔවුන් රැස්කරවා, ඔවුන්ගේ ස්ථානවලට ඔවුන් පත්කෙළෙමි.
12එවිට සියලු යූදාවරු ධාන්‍යයෙනුත් මුද්‍රික යුෂයෙනුත් තෙලිනුත් දසයෙන් කොටස ගබඩාවලට ගෙනාවෝය.
13ගබඩාවල් කෙරෙහි පූජකවූ ෂෙලෙමියාද ලියන්නාවූ සාදොක්ද ලෙවීවරුන්ගෙන් පෙදායාද ඔවුන් යටතේ මත්තනියාගේ පුත්‍රයාවූ සක්කූර්ගේ පුත්‍රවූ හානාන්ද ගබඩාකාරයන් කෙළෙමි. මක්නිසාද ඔව්හු විශ්වාස අයකොට සලකනලද්දෝය, තමුන්ගේ සහෝදරයන්ට බෙදාදීම ඔවුන්ට භාරව තිබුණේය.
14මාගේ දෙවියන්වහන්ස, මේ ගැන මා සිහිකළ මැනව, මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයද ඒකේ නියම පිළිවෙත්ද උදෙසා මා විසින් කළ යහපත් ක්‍රියා නොමැකුව මැනව. සබත් දවස පැවැත්වීම ග��න
15ඒ දවස්වලදී යූදාහි සමහරුන් සබත් දවසේ මුද්‍රික යන්ත්‍රය පාගන බවත්, ගොයම් මිටි ගෙනැවිත් ඒවා සහ මුද්‍රික පානයද මුද්‍රික වලදු අත්තික්කා ඵලද සියලු ආකාර බරද කොටළුවන් පිට පටවාගෙන සබත් දවසේදී යෙරුසලමට ගෙනෙන බවත් මම දැක, ඔවුන් ආහාර විකුණන දවසේදී ඔවුන්ට තරවටුකෙළෙමි.
16තීර්වරුත් එහි වාසයකොට මාලු සහ සියලු ආකාර බඩු ගෙනැවිත් යූදා පුත්‍රයන්ටත් යෙරුසලමෙහිත් සබත් දවසේදී වික්කෝය.
17එබැවින් මම යූදාහි උත්තමයන්ට තරවටුකරමින්: සබත් දවස දූෂ්‍ය කොට ඔබ සැම කරන මේ නපුරු ක්‍රියාව මොකද?
18ඔබ සැමගේ පියවරුන් මෙසේ කළ බැවින් අපේ දෙවියන්වහන්සේ මේ සියලු විපත්ති අප පිටටත් මේ නුවර පිටටත් පැමිණෙවුවා නොවේද? එසේ වී නුමුත් ඔබ සැම සබත් දවස දූෂ්‍යකිරීමෙන් ඉශ්රායෙල් කෙරෙහි උදහස වැඩිකරන්නහුයයි ඔවුන්ට කීවෙමි.
19තවද සබත් දවසට ඉස්සරින් යෙරුසලමේ දොරටුවලට අඳුර වැටෙන කල දොරවල් පියන්ටත්, සබත් දවස පසුවෙන තුරු ඒවා නාරින්ටත් අණකර, සබත් දවසේ කිසි බරක් ඇතුළට නොගෙනෙන පිණිස මාගේ මෙහෙකරුවන්ගෙන් සමහරෙකු දොරටු ළඟ සිටෙවුවෙමි.
20ඒ නිසා වෙළෙන්දෝ ද සියලු ආකාර බඩු විකුණන්නෝද වරක් දෙවරක් යෙරුසලමෙන් පිට නැවතුණේය.
21මම ඔවුන්ට තරවටුකොට: ඔබ සැම පවුර ළඟ නවතින්නේ මක්නිසාද? ඔබ සැම නැවත එසේ කළොත් ඔබ සැම අල්ලාගන්නෙමියි ඔවුන්ට කීවෙමි. එතැන් පටන් ඔව්හු සබත් දවසේදී නාවෝය.
22තවද සබත් දවස ශුද්ධ ලෙස පවත්වන පිණිස පිරිසිදුවී ඇවිත් දොරටු රැකවල් කරන්ටය කියා මම ලෙවීවරුන්ට අණකළෙමි. මාගේ දෙවියන්වහන්ස, මේ නිසාත් මා සිහිකර, ඔබගේ කරුණාවේ මහත්කම පරිද්දෙන් මට දයාවී වදාළ මැනව.
23තවද ඒ දවස්වලදී සමහර යූදාවරුන් අෂ්දෝද්හිද අම්මොන්හිද මෝවබ්හිද ස්ත්‍රීන් පාවාගන සිටිනවා දුටුවෙමි.
24ඔවුන්ගේ දරුවෝද අර්ධයක් වශයෙන් අෂ්දෝද් භාෂාවෙන් කථාකරන්ට ඔවුන් නොදැන ඒ සෙනඟගෙත් මේ සෙනඟගෙත් භාෂාවලින් කථාකළෝය.
25මම ඔවුන්ට තරවටුකර, ඔවුන්ට ශාපකර, ඔවුන්ගෙන් සමහරෙකුට ගසා, ඔවුන්ගේ හිසකේ උගුළා, ඔබ සැමගේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට දෙන්ටවත් ඔවුන්ගේ දූවරුන් ඔබ සැමගේ පුත්‍රයන්ට හා ඔබ සැමට ගන්ටවත් එපාය කියා දෙවියන්වහන්සේ ගැන ඔවුන් දිවුරවා,
26ඔවුන්ට කථාකොට: ඉශ්රායෙල් රජවූ සාලමොන් මේ දේ කිරීමෙන් පව්කළා නොවේද? බොහෝ ජාතීන් අතරේ ඔහුට සමාන රජෙක් සිටියේ නැත, ඔහුගේ දෙවියන්වහන්සේද ඔහුට ප්‍රේමකොට මුළු ඉශ්රායෙල් කෙරෙහි ඔහු රජ කළ සේක. එසේ වී නුමුත් ඔහු පවා අන්‍ය ජාතී ස්ත්‍රීන් විසින් පව්කරන්ට සලස්වනලද්දේය.
27එසේනම් අන්‍ය ජාතී ස්ත්‍රීන් පාවාගැනීමෙන් මේ මුළු මහත් නපුර කොට අපේ දෙවියන්වහන්සේට විරුද්ධව වරදකරන හැටියට ඔබ සැමට ඇහුම්කන්දෙන්නෙමුදැයි කීමි.
28උත්තම පූජකවූ එලියාෂීබ්ගේ පුත්‍රයා වන යෝයාදාගේ පුත්‍රයෙක් හොරොනිය සන්බලාට්ට බෑනාව සිටිය නිසා ඔහු මා වෙතින් එළෙවුවෙමි.
29මාගේ දෙවියන්වහන්ස, ඔවුන් පූජක තනතුරද පූජකකෙමත් ලෙවීවරුන්ගෙත් ගිවිසුමද අපිරිසිදුකළ නිසා ඔවුන් සිහිකළ මැනව.
30මෙසේ මම විදේශී සියල්ලන්. පහකිරීමෙන් ඔවුන් පිරිසිදුකර, එක් එක්කෙනා තම තමාගේ වැඩේ ප්‍රකාරයට පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත් කටයුතු නියම කාලවලට දර පඬුරුද ප්‍රථම ඵලද ගැන නියමකෙළෙමි. මාගේ දෙවියන්වහන්ස, යහපත පිණිස මා සිහිකළ මැනව.