Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
23 verses
1අප විසින් පවුර සාදන බව සන්බලාට් ඇසූ විට ඔහු කෝපවී, අතිශයින් උදහස්ව, යුදෙව්වරුන්ට නින්දාකරමින්,
2තමාගේ සහෝදරයන් සහ සමාරියේ සේනාව ඉදිරියේදී කථාකොට: මේ බෙලහීන යුදෙව්වෝ මක්කරද්ද? මිනිසුන් ඔවුන්ට ඉඩදෙනවා ඇද්ද? ඔවුන් පූජාකරනවා ඇද්ද? දවසකින් තීන්දුකරනවා ඇද්ද? දවා දමන්ට යෙදුණු ගල් නැවත පස් ගොඩවලින් උපදවාගන්නවා ඇද්දැයි කීවේය.
3ඔහු ළඟ සිටි අම්මොනිය ටෝබියාද කථාකොට: ඔවුන් ගොඩනඟන ඒවාත් මොනවාද? හිවෙලක් නැගුණොත් ඌ ඔවුන්ගේ ගල් පවුර කඩාදමනවා ඇතැයි කීවේය.
4අපේ දෙවියන්වහන්ස, ඇසුව මැනව; මක්නිසාද අපි සුළුකරනු ලබමුව. ඔවුන් කරන නින්දාව ඔවුන්ගේ ඉස පිටට හරවා, වාල්කමේ රටක ඔවුන් කොල්ලකෑමට පාවාදුනමැනව.
5ඔවුන්ගේ අපරාධය නොවැසුවමැනව, ඔවුන්ගේ පාපයද ඔබ ඉදිරියෙන් නොමැකේවා. මක්නිසාද ගොඩනඟන්නන් ඉදිරිපිටදී ඔව්හු ඔබ උදහස්කළෝය.
6නුමුත් අපි පවුර ගොඩනැගීමුව; මෙසේ භාගයක් උසට මුළු පවුර සාදනලද්දේය. එසේය, වැඩකරන්ට සෙනඟට හිත තිබුණේය.
7තවද යෙරුසලමේ පවුරු හරිගැස්සීම ඉෂ්ටවෙන බවත් එහි බිඳුම් අහුරාගනයන බවත් සන්බලාට්ද ටෝබියාද අරාබිවරුද අම්මොන්වරුද අෂ්දොද්වරුද අසා ඉතා කෝපවූහ;
8ඔවුන් සියල්ලෝම යෙරුසලමට විරුද්ධව යුද්ධකර එහි වියවුලක් හටගන්වන්ට එක්ව කුමන්ත්රණයකළෝය.
9නුමුත් අපි, අපේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට ඔවුන් නිසා රෑ දාවල් ඔවුන්ට විරුද්ධව මුරතැබීමුව.
10යූදාවරු කථාකොට: බර ගෙනයන්නන්ගේ ශක්තිය හීනවී තිබේ, පස් ගොඩගැසී තිබේ; එබැවින් අපට පවුර ගොඩනඟන්ට බැරියයි කීවෝය.
11අපේ එදිරිකාරයෝකථාකොට: අප ඔවුන් මැදට පැමිණ ඔවුන් මරා දමා, වැඩේ නවත්වන තුරු, ඔවුන්ට දැනෙන්නේවත් පෙනෙන්නේවත් නැතැයි කීවෝය.
12තවද ඔවුන් ළඟ විසූ යුදෙව්වරු සියලු ස්ථානවලින් ඇවිත් දස වරක් අපට කථාකොට: ඔබ සැම අප ළඟට හැරී එන්ට ඕනෑයයි කීවෝය.
13ඒ නිසා මම පවුරට පිටිපස්සෙන් පහත්වූ එළිමහන් ඉඩම්වල සෙනඟ තමුන්ගේ පවුල්වල ප්රකාරයට කඩුත් හෙල්ලත් දුනුත් ඇතුව සිටෙවුවෙමි.
14මම බලා, නැගිට, උත්තමයන්ටත් මුලාදෑනීන්ටත් ඉතිරි මිනිසුන්ටත් කථාකොට: ඔවුන් ගැන භය නොවෙන්න. මහත්ව භයංකරව සිටින ස්වාමීන්වහන්සේ සිහිකරමින් ඔබ සැමගේ සහෝදරයන්ද පුත්රයන්ද දූවරුන්ද භාර්යාවන්ද ගෙවල්ද උදෙසා සටන්කරන්නැයි කීවෙමි.
15තවද අප ඒක දැනගත් බවද දෙවියන්වහන්සේ ඔවුන්ගේ මන්ත්රණය නිෂ්ඵල කළ බවද අපේ සතුරන්ට ආරංචිවූ කල, අපි සියල්ලෝම එකිනෙකා තම තමාගේ වැඩ කිරීමට පවුරට හැරීගියෙමු.
16එතැන් පටන් මාගේ සේවකයන්��ෙන් දෙකෙන් කොටසක් වැඩේ යෙදී සිටියෝය, කොටසක් හෙල්ලද පලිස්ද දුනුද යුද්ධ සැට්ටද රැගෙන සිටියෝය; අධිපතියෝද මුළු යූදා වංශයට පස්සෙන් සිටියෝය.
17පවුර ගොඩනගන්නෝද බර ගෙනයන්නෝද තුමූම බර පටවාගෙන, එක අතකින් වැඩකරමින්, අනික් අතින් ආයුධයක් රැගෙන සිටියාහ.
18ගොඩනගන්නෝද එකිනෙකා තම තමාගේ කඩුව ඉඟටියේ බැඳගන ගොඩනැගුවෝය. හොරණෑ පිඹින්නා මා ළඟ සිටියෝය.
19මම උත්තමයන්ටත් මුලාදෑනීන්ටත් ඉතිරි මිනිසුන්ටත් කථාකොට: මේ වැඩේ මහත්ය, විශාලය, අපි පවුර පිට විසිරී එකිනෙකාගෙන් දුරව සිටිමුව.
20යම් තැනකින් ඔබ සැමට හොරණෑ ශබ්දය ඇසේද, එහි අප ළඟට රැස්වෙන්න; අපේ දෙවියන්වහන්සේ අප උදෙසා සටන්කරනසේකැයි කීමි.
21මෙසේ වැඩේ යෙදී සිටියෙමු. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් අලුයම් වේලේ පටන් තරු පෙනෙන තුරු හෙල්ල රැගෙන සිටියෝය.
22එම කාලයේ මම සෙනඟට තවත් කථාකොට: රාත්රියේ අපට රැකවලක් වන පිණිසත් දහවල් වැඩකරන පිණිසත් එකිනෙකා තම තමාගේ මෙහෙකරුවා සමඟ රාත්රියේ යෙරුසලමෙහි සිටීවයි කීවෙමි.
23මමවත් මාගේ සහෝදරයෝවත් මාගේ සේවකයෝවත් මා කැටුව ආවාවූ රැකවල්ලුවත් ඇඳුම් නොගැළෙවුවෙමු, එකිනෙකා තම තමාගේ ආයුධ ඇතුවම වතුර ළඟට ගියේය.