Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
32 verses
1ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: ඔබද ඔබ සමඟ ඔබේ පුත්‍රයෝද ඔබේ පිය වංශයද ශුද්ධස්ථානය සම්බන්ධ අයුතුකම ගැන වග කියනවා ඇත. ඔබද ඔබ සමඟ ඔබේ පුත්‍රයෝද ඔබ සැමගේ පූජකකම සම්බන්ධ අයුතුකම ගැන වග කියනවා ඇත.
2ඔබේ පිය ගෝත්‍රයවූ ලෙවීගේ ගෝත්‍රය වන ඔබේ සහෝදරයන්ද ඔබට එකතුවී ඔබට සේවයකරන පිණිස ඔවුන් ඔබ සමඟ ළඟට පමුණුවාගන්න. එහෙත් ඔබද ඔබ සමඟ ඔබේ පුත්‍රයෝද සාක්ෂි මණ්ඩපය ඉදිරියෙහි සිටින්න.
3ඔව්හු ඔබටත් මුළු කූඩාරමටත් සේවයකරත්වා. ඔවුන්වත් ඔබ සැමවත් නොනසින පිණිස ඔව්හු ශුද්ධස්ථානයේ භාජනවලටවත් පූජාසනයටවත් ළංනොවෙත්වා.
4කූඩාරමේ සියලුම සේවය පිණිස ඔව්හු ඔබට එකතුවී සම්මුඛවීමේ කූඩාරම සම්බන්ධව සේවය කරත්වා. අන්‍යයෙක් ඔබ සැම ළඟට නොපැමිණේවා.
5ඉශ්රායෙල් පුත්‍රයන් පිට උදහස තවත් නොපැමිණෙන පිණිස ශුද්ධස්ථානයේ භාරයද පූජාසනයේ සේවයද ඔබ සැම විසින් බලාගතයුතුය.
6බලව, මම ලෙවීවරුන්වූ ඔබ සැමගේ සහෝදරයන් ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙන් ගතිමි. සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය කරන පිණිස ඔබ සැමට ත්‍යාගයක් කොට ඔව්හු ස්වාමීන්වහන්සේට දෙනලද්දෝය.
7ඔබද ඔබ සමඟ ඔබේ පුත්‍රයෝද පූජාසනයේ සියලු දේ ගැනත් තිරයට ඇතුළත තිබෙන දේ ගැනත් ඔබ සැමගේ පූජකකම පවත්වමින් මෙහෙකරන්න. මම පූජකකම ත්‍යාග සේවයක් කොට ඔබ සැමට දෙමි. නුමුත් ළංවන අන්‍යයා මරනු ලබන්නේයයි කීසේක.
8ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: බලව, මාගේ එසවීමේ පූජාවල භාරය එනම් ඉශ්රායෙල් පුත්‍රයන්ගේ කැපකරනලද සියලුම දේවල් ඔබට සහ ඔබේ පුත්‍රයන්ටද ආලේපකිරීම හේතුකොටගෙන සදාකාලයටම නියම කොටසක් කොට මා විසින් දී තිබේ.
9ගින්නෙහි නොදවන්නාවූ අති ශුද්ධ දේ වලින් ඔබට අයිති වන්නේ ඔවුන්ගේ සියලු පූජා එනම් ඔවුන්ගේ සියලු ආහාර පූජාද ඔවුන්ගේ සියලු පාප පූජාද ඔවුන්ගේ සියලු වරද පූජාද යන මේවාය; ඔවුන් මට දෙන දේවල් ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් අති ශුද්ධ වන්නේය.
10අතිශුද්ධ දේවල් ලෙස එයින් කන්න. සියලු පිරිමින්ට එයින් කන්ට පුළුවන; ඒක ඔබට ශුද්ධ වන්නේය.
11මේවාත් ඔබට අයිතිය, එනම්, ඔවුන්ගේ දීමනාවේ එසවීමේ පූජාවවූ ඉශ්රායෙල් පුත්‍රයන්ගේ සියලුම තේව පූජාය. ඒවා ඔබ��ත් ඔබ සමඟ ඔබේ පුත්‍රයන්ටත් ඔබේ දූවරුන්ටත් සදාකාලයටම නියම කොටසක් කොට මා විසින් දී තිබේ. ඔබේ ගෙයි පවිත්‍රව සිටින සියල්ලන්ට එයින් කන්ට පුළුවන.
12තෙල්වලින් උතුම්වූ කොටසද මුද්‍රික යුසයෙන් හා ධාන්‍ය වලින් උතුම්වූ කොටසද වන ඔවුන් ස්වාමීන්වහන්සේට දෙන්නාවූ දේවල ප්‍රථම ඒවා මම ඔබට දුනිමි.
13ඔවුන් ස්වාමීන්වහන්සේට ගෙනෙන්නාවූ ඔවුන්ගේ දේශයෙහි තිබෙන සියලු දේවල ප්‍රථම ඵල ඔබට වේ; ඔබේ ගෙයි පවිත්‍රව සිටින සියල්ලන්ට එයින් කන්ට පුළුවන.
14ඉශ්රායෙල්වරුන් අතරෙහි කැපකරනලද සියල්ල ඔබට වන්නේය.
15ස්වාමීන්වහන්සේට ඔප්පුකරනු ලබන සියලු සත්වයන්ගෙන් මනුෂ්‍යයන්ගේ වේවා මෘගයන්ගේ වේවා ගර්භයේ සියලුම ප්‍රථම ඵල ඔබට අයිතිය. එසේවී නුමුත් මනුෂ්‍යයන්ගේ කුලුඳුලන් ඔබ සැබවින් මිදිය යුතුය, අපවිත්‍ර මෘගයන්ගේ කුලුඳුලන්ද ඔබ විසින් මිදිය යුතුය.
16මසක දරුවා පටන් ඔවුන්ගෙන් මුදනු ලබන්ට සිටින්නන්, ඔබේ නියමයේ හැටියට, ගේරා විස්සක්වූ ශුද්ධස්ථානයේ ෂෙකෙලේ ප්‍රකාරයට, ෂෙකෙල් පහකට මුදන්න.
17එහෙත් එළදෙනෙකුගේ හෝ බැටළුදෙනෙකුගේ හෝ එළුදෙනෙකුගේ හෝ කුලුඳුලා නොමිදිය යුතුය, උන් ශුද්ධය. උන්ගේ ලේ පූජාසනය පිට ඉස, ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස ගිනි පූජාවක් කොට උන්ගේ තෙල දවන්න.
18එහෙත් උන්ගේ මාංස ඔබට වන්නේය, තේව ළැපැත්ත හා දකුණු කළවය ඔබට වන්නාක්මෙන් ඒවාත් ඔබට වන්නේය.
19ඉශ්රායෙල් පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේට පූජාකරන ශුද්ධ දේවලින් සියලු එසවීමේ පූජා ඔබටත් ඔබ සමඟ ඔබේ පුත්‍රයන්ටත් ඔබේ දූවරුන්ටත් සදාකාලේට නියම කොටසක් කොට මා විසින් දී තිබේ. ඒක ඔබටත් ඔබ සමඟ ඔබේ වංශයටත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිරන්තරවූ ලවණ ගිවිසුමක්යයි කීසේක.
20ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: ඔවුන්ගේ දේශයෙහි කිසි උරුමයක්වත් ඔවුන් අතරෙහි කිසි කොටසක්වත් ඔබට නොවන්නේය. ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙහි ඔබේ කොටසද ඔබේ උරුමයද මමය.
21බලව, ලෙවීගේ පුත්‍රයන්ට ඔවුන් කරන මෙහෙය එනම් සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය නිසා උරුමයක් කොට ඉශ්රායෙල්වරුන්ගේ සියල්ලෙන් දසයෙන් කොටසක් මා විසින් දී තිබේ.
22ඉශ්රායෙල් පුත්‍රයෝ පාපය දරා නොනසින පිණිස මෙතැන් පටන් රැස්වීමේ කූඩාරම ළඟට නොපැමිණෙත්වා.
23එහෙත් ලෙවීවරුම සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය කර තමුන්ගේ අපරාධ ගැන වග කියන්නෝය. ඒක ඔබ සැමගේ පරම්පරාවල සදාකාල පනතක් වන්නේය, ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙහි ඔවුන්ට කිසි උරුමයක් නොවන්නේය.
24මක්නිසාද එසවීමේ පූජාවක් කොට ඉශ්රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන දසයෙන් කොටස ලෙවීවරුන්ට උරුමයක් කොට මා විසින් දී තිබේ. එබැවින් ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙහි කිසි උරුමයක් ඔවුන්ට නොලැබෙන්නේය කියා මම ඔවුන්ට කීයෙමියි කීසේක.
25ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
26තවද ඔබ ලෙවීවරුන්ට මෙසේ කියන්න-ඔබ සැමගේ උරුමය කොට මා විසින් ඉශ්රායෙල් පුත්‍රයන්ට දී තිබෙන දසයෙන් කොටස ඔබ සැම ඔවුන්ගෙන් ගන්න කල එයින් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් කොට ඔප්පුකරන්න.
27ඔබ සැමගේ එසවීමේ පූජාව පාවරේ ධාන්‍ය මෙන්ද මිදිපැසේ පූර්ණකම මෙන්ද ඔබ සැමට ගණන්ගනු ලබන්නේය.
28මෙලෙස ඔබ සැම ඉශ්රායෙල් පුත්‍රයන්ගෙන් ලබන ඔබ සැමගේ ඒ සියලුම දසයෙන් කොටස්වලින් ඔබ සැමත් ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් ඔප්පුකර ස්වාමීන්වහන්සේගේ එසවීමේ පූජාව පූජකවූ ආරොන්ට දෙන්න.
29ඔබ සැමට ලැබෙන සියලු දීමනාවලින් ස්වාමීන්වහන්සේගේ සියලු එසවීමේ පූජා ඔබ සැම ඔප්පුකළයුතු වන්නේ සියලු උතුම් කොට්ඨාසවලින්ය, එනම් එයින් ශුද්ධවූ කොටසය.
30එබැවින් ඔබ සැම එයින් උතුම් කොට්ඨාසය ඔප්පුකරන විට එය පාවරේ අස්වැන්න මෙන්ද මිදි පැසේ පූර්ණකම මෙන්ද ලෙවීවරුන්ට ගණන්ගනු ලබන්නේය.
31එය සම්මුඛවීමේ කූඩාරමෙහි ඔබ සැමගේ මෙහෙයට විපාකය වන බැවින් ඔබ සැමටත් ඔබ සැමගේ ගෙයි වැසියන්ටත් සියලු තැන්හිදී එය කන්ට පුළුවන.
32එසේ ඔබ සැම එයින් උතුම් කොට්ඨාසය එසෙවු කල ඒ ගැන කිසි පාපයක් දරන්නේවත් ඉශ්රායෙල් පුත්‍රයන්ගේ ශුද්ධවූ දේවල් දූෂණයකොට ඔබ සැම නසින්නේවත් නැත කියා ඔවුන්ට කියන්නැයි කීසේක.