Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
29 verses
1ඉශ්රායෙල් පුත්රයෝ එනම් මුළු සභාව පළමුවෙනි මාසයේදී ශීන් කාන්තාරයට ආවෝය; සෙනඟ කාදෙෂ්හි නවාතැන් ගත්තෝය; මිරියාම් එහිදී නැසී එහි තැන්පත්කරන ලද්දීය.
2සභාවට වතුර නොතිබුණු බැවින් ඔව්හු මෝසෙස්ටද ආරොන්ටද විරුද්ධව රැස්වුණෝය.
3සෙනඟ මෝසෙස් සමඟ විවාදකරමින්: ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අපේ සහෝදරයන් මැරුණ කල්හි අපිත් මැරුණෙමුනම් යහපත!
4අපද අපේ සිව්පාවුන්ද මෙහි මැරෙන පිණිස ඔබ සැම ස්වාමීන්වහන්සේගේ සභාව මේ කාන්තාරයට ගෙනාවේ මක්නිසාද?
5මේ නරක ස්ථානයට අප පමුණුවන්ට මිසරයේ සිට අප ගෙනාවේ මන්ද? මේක බීජවත් අත්තික්කාවත් මිදිවැල්වත් දෙළුම්වත් ඇති ස්ථානයක් නොවේ; බොන්නට වතුරත් නැතැයි කීවෝය.
6මෝසෙස් හා ආරොන් සභාව ඉදිරියෙන් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට ගොස් මුහුණින් වැටුණෝය. ස්වාමීන්වහන්සේගේ තේජස ඔවුන්ට පෙනුණේය.
7ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
8ඔබද ඔබේ සහෝදරවූ ආරොන්ද සැරයටිය රැගෙන, සභාව රැස්කර, පර්වතය විසින් ඒකේ වතුර දෙන ලෙස ඔවුන්ගේ ඇස් ඉදිරිපිට ඊට කථාකරන්න; එසේ ඔවුන්ට පර්වතයෙන් වතුර ගෙන්වා සභාවටත් ඔවුන්ගේ සිව්පාවුන්ටත් බොන්ට දෙන්නැයි කීසේක.
9මෝසෙස් ස්වාමීන්වහන්සේ ඔහුට අණකළ ලෙස උන්වහන්සේ ඉදිරියෙන් සැරයටිය ගත්තේය.
10මෝසෙස් සහ ආරොන් සභාව පර්වතය ඉදිරියට රැස් කළෝය. ඔහු: කැරළිකාරයිනි, අසන්න; අප විසින් මේ පර්වතයෙන් ඔබ සැමට වතුර ගෙන්වා දෙන්ටදැයි ඔවුන්ට කියා,
11තමාගේ අත ඔසවා සැරයටියෙන් දෙවරක් පර්වතයට ගැසීය. එවිට වතුර බොහෝසෙයින් ගලාආයේය, සභාවද ඔවුන්ගේ සිව්පාවෝද එයින් බීවෝය.
12ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට: ඔබ සැම ඉශ්රායෙල් පුත්රයන් ඉදිරියෙහි මට ගෞරව පැමිණෙන ලෙස මා කෙරෙහි විශ්වාස නොකළ බැවින් මේ සභාවට මා විසින් දුන් දේශයට ඔබ සැම ඔවුන් නොපමුණුවන්නහුයයි කීසේක.
13ඒ වනාහි මෙරිබා වතුරය; එහිදී ඉශ්රායෙල් පුත්රයෝ ස්වාමීන්වහන්සේ සමඟ විවාදකළෝය, එහෙත් උන්වහන්සේ ඔවුන් අතරෙහි ගෞරවකරනු ලැබූසේක.
14එවිට මෝසෙස් කාදෙෂ්හි සිට ඒදොම් රජ වෙතට පණිවිඩකාරයන් යවා: ඔබේ සහෝදරවූ ඉශ���රායෙල් මෙසේ කියයි-අපට පැමිණි සියලු අමාරුකම් ඔබ දන්නෙහිය.
15අපේ පියවරු මිසරයට ගියෝය, අපි බොහෝ කල් මිසරයෙහි සිටියෙමුව; මිසරවරු අපටත් අපේ පියවරුන්ටත් නපුරුකම් කළෝය.
16අපි ස්වාමීන්වහන්සේට මොරගැසුවෙමුව, එවිට උන්වහන්සේ අපේ හඬ අසා දූතයෙකු එවා අප මිසරයෙන් පිටතට ගෙනාසේක. ඉතින් අපි ඔබේ සීමාන්තයෙහි නුවරක් වූ කාදෙෂ්හි සිටිමුව.
17ඔබේ දේශය මැදින් යන්ට අපට අවසර ලැබේවා. අපි කෙත් මැදින්වත් මිදිවතු මැදින්වත් නොයන්නෙමුව, ළින් වලින් වතුර නොබොන්නෙමුව. රජ මාවත යන්නෙමුව, ඔබේ සීමාව පසුකරන තෙක් අපි දකුණටවත් වමටවත් නොහැරෙන්නෙමුයයි කියන්ට කීවේය.
18ඒදොම්ද: ඔබ මාගේ රට මැදින් නොගිය යුතුය, ගියොත් මම ඔබට විරුද්ධව කඩුව ගෙන එන්නෙමියි ඔහුට කීවේය.
19ඉශ්රායෙල් පුත්රයෝද: අපි මහ මාවත යන්නෙමුව. අපි එනම් මාද මාගේ සිව්පාවුන්ද ඔබේ වතුර බීවොත් ඒවාට මිල ගෙවන්නෙමු. වෙන කිසි දෙයක් නොකොට මට පයින් යන්ට පමණක් ඉඩ දුනමැනවයි කීවෝය.
20ඔහු: ඔබ නොඑවයි කීවේය. තවද ඒදොම්වරු මහත් සෙනඟක්ද බලවත් අතක්ද ඇතුව ඔවුන්ට විරුද්ධව ආවෝය.
21මෙසේ ඒදොම්වරු තමුන්ගේ සීමාව මැදින් ඉශ්රායෙල්ට යන්ට දෙන්ට අකැමති වූහ. එබැවින් ඉශ්රායෙල්වරු ඔවුන් කෙරෙන් අහක්ව ගියෝය.
22ඉශ්රායෙල් පුත්රයෝ එනම් මුළු සභාව කාදෙෂ්හි සිට ගමන්කොට හෝර් කන්දට පැමුණුණෝය.
23ස්වාමීන්වහන්සේ ඒදොම් දේශයේ සීමාව ළඟ හෝර් කන්දේදී මෝසෙස්ට හා ආරොන්ට කථාකොට:
24ආරොන් තමාගේ සෙනඟට එකතුවන්නේය. මක්නිසාද ඔබ සැම මෙරිබාහි වතුර ළඟදී මාගේ වචනයට විරුද්ධව කැරළිකාරව සිටිය බැවින් ඉශ්රායෙල් පුත්රයන්ට මා විසින් දුන් දේශයට ඔහු ඇතුල්නොවන්නේය.
25ආරොන් සහ ඔහුගේ පුත්රවූ එලෙයාසර් කැඳවාගන හෝර් කන්දට අවුත්,
26ආරොන්ගේ වස්ත්ර ඔහුගෙන් ගළවා ඔහුගේ පුත්රවූ එලෙයාසර්ට අන්දවන්න. ආරොන් එහිදී මැරී තමාගේ සෙනඟට එකතුවන්නේයයි කීසේක.
27මෝසෙස් ස්වාමීන්වහන්සේ අණකළ ලෙස කෙළේය. ඔව්හු මුළු සභාව ඉදිරියෙහි හෝර් කන්දට නැංගෝය.
28එවිට මෝසෙස් ආරොන්ගේ වස්ත්ර ඔහුගෙන් ගළවා ඔහුගේ පුත්රවූ එලෙයාසර්ට ඒවා ඇන්දෙවුවේය; ආරොන් එහි කන්ද මුදුනේදී මළේය. එවිට මෝසෙස් සහ එලෙයාසර් කන්දෙන් බැස්සෝය.
29මුළු සභාව එනම් මුළු ඉශ්රායෙල් වංශය ආරොන් මළ බව දුටු කල ආරොන් ගැන තිස් දවසක් වැලපුණාහ.