Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
18 verses
1ඉශ්රායෙල්වරු ෂිට්ටීම්හි සිටියෝය, එවිට සෙනඟ මෝවබ් දූවරුන් සමඟ වේශ්‍යාකම් කරන්ට පටන් ගත්තෝය.
2ඒ තැනැත්තියෝ තමුන්ගේ දෙවිවරුන්ගේ යාගවලට සෙනඟ කැඳෙවුවෝය. සෙනඟ කා ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටුණෝය.
3තවද ඉශ්රායෙල් බාල්පෙයෝර්ට බැඳුණේ විය. ස්වාමීන්වහන්සේගේ උදහසද ඉශ්රායෙල්වරුන්ට විරුද්ධව ඇවුළුණේය.
4ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: සෙනඟගේ සියලු නායකයන් රැගෙන ස්වාමීන්වහන්සේගේ තද උදහස ඉශ්රායෙල්වරුන් කෙරෙන් පහවෙන පිණිස ඔවුන් ස්වාමීන්වහන්සේ උදෙසා සූර්යයා ඉදිරිපිට එල්ලා තබන්නැයි කීසේක.
5මෝසෙස් ඉශ්රායෙල්වරුන්ගේ විනිශ්චයකාරයන්ට කථාකොට: ඔබ සැම එකිනෙකා බාල්පෙයෝර්ට එක්වූ තම තමාගේ මිනිසුන් මරන්නැයි කීය.
6එකල ඔවුන් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ හඬමින් සිටියදී ඉශ්රායෙල් පුත්‍රයන්ගෙන් එක්කෙනෙක් මෝසෙස් ඉදිරියෙහිද ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ඉදිරියෙහිද මිදියන් ස්ත්‍රියෙකු කැඳවාගෙන තමාගේ සහෝදරයන් ළඟට ආයේය.
7එවිට පූජකවූ ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ගේ පුත්‍ර වන පීනෙහාස් ඒ දැක සභා මධ්‍යයෙන් නැගිට හෙල්ලයක් අතින් ගෙන,
8ඉශ්රායෙල් මනුෂ්‍යයා පස්සේ කූඩාරමට ඇතුල්වී ඉශ්රායෙල් මනුෂ්‍යයාද ඒ ස්ත්‍රීගේ බඩද සිදුරුවන ලෙස ඒ දෙදෙනාටම ඇන්නේය. එවිට ඉශ්රායෙල් පුත්‍රයන් කෙරෙන් වසංගතය නැවතුණේය.
9වසංගතයෙන් මැරුණු අය විසිහතර දහසක්ය.
10ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
11පූජක ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ගේ පුත්‍රයා වන පීනෙහාස් මා විසින් මාගේ ජ්වලිතයෙන් ඉශ්රායෙල් පුත්‍රයන් විනාශ නොකරන පිණිස ඔවුන් අතරෙහි මාගේ ජ්වලිතයෙන් ජ්වලිතව සිටීමෙන් ඉශ්රායෙල් පුත්‍රයන් කෙරෙන් මාගේ උදහස පහකෙළේය.
12එබැවින් මාගේ ශාන්තියේ ගිවිසුම ඔහුට දෙමි.
13ඔහු තමාගේ දෙවියන්වහන්සේ ගැන ජ්වලිතව සිට ඉශ්රායෙල් පුත්‍රයන් උදෙසා සමඟිකමක් කළ බැවින් එය ඔහුටත් ඔහුගෙන් පසු ඔහුගේ වංශයටත් සදාකාල පූජකකමක ගිවිසුමක් වන්නේය කියා කියන්නැයි කීසේක.
14මරනු ලැබූ එනම් මිදියන් ස්ත්‍රිය සමඟ මරනු ලැබූ ඉශ්රායෙල් මනුෂ්‍යයාගේ නම සිම්රීය, ඔහු වනාහි සාලුගේ පුත්‍රවූ, සිමියොන්වරුන්ගේ පිය වංශයක අධිපතියෙක්ය.
15මරනු ලැබූ මිදියන් ස්ත්‍රියගේ නම කොස්බීය, ඈ වනාහි මිදියන්වරුන්ගේ පියවංශයක සෙනඟගේ ප්‍රධානියා වූ ශූර්ගේ දුවය.
16තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
17මිදියන්වරුන් පෙයෝර්ගේ කාරණයේදීද පෙයෝර්ගේ කාරණය නිසා වසංගතය පැමිණි දවසේදී මරනු ලැබූ ඔවුන්ගේ සහෝදරී වන මිදියන් අධිපතියෙකුගේ දුවවූ කොස්බීගේ කාරණයේදීද ඔවුන් ඔබ සැමට කළාවූ ඔවුන්ගේ ප්රයෝගවලින් ඔවුන් ඔබ සැමට සතුරුකම් කරන බැවින්,
18ඔවුන්ට සතුරුකම්කොට පහරදෙන්නැයි කීසේක.