Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
23 verses
1ඔවුන් මිසර දේශයෙන් පිටත්ව ආවායින් පසු දෙවෙනි අවුරුද්දේ පළමුවෙනි මාසයේ සීනයි කාන්තාරයේදී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
2තවද ඉශ්රායෙල් පුත්‍රයෝ නියම කාලයෙහි පාස්කුව පවත්වත්වා.
3ඊට නියම කාලය වන මේ මස දසසතරවෙනි දින සවස් වරුවේ ඒක පවත්වන්න. ඒකේ සියලු පනත්ද ඒකේ සියලු නියෝගද ප්‍රකාර ඒක පවත්වන්නැයි කීසේක.
4මෝසෙස්ද පාස්කුව පවත්වන්ට ඉශ්රායෙල් පුත්‍රයන්ට කීවේය.
5එසේ ඔව්හු පළමුවෙනි මස දසසතරවෙනි දින සවස සීනයි කාන්තාරයේදී පාස්කුව පැවැත්වූහ. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්රායෙල් පුත්‍රයෝ කළෝය.
6මෘත ශරීරයකින් අපවිත්‍රවී ඒ දවසේ පාස්කුව පවත්වන්ට නොහැකිවූ සමහර මනුෂ්‍යයෝ එහි සිටියෝය. ඒ මනුෂ්‍යයෝ ඒ දවසේදී මෝසෙස් සහ ආරොන් ඉදිරියට අවුත් කථාකොට:
7අපි මෘත ශරීරයකින් අපවිත්‍රවී සිටිමුව. ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙහි ස්වාමීන්වහන්සේගේ පූජාව ඊට නියම කාලයෙහි ඔප්පු කිරීමෙන් අප වලක්වනු ලබන්නේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවෝය.
8මෝසෙස්ද: ස්වාමීන්වහන්සේ ඔබ සැම ගැන අණකරන්නේ කුමක්දැයි දැනගන්න තෙක් සිටින්නැයි ඔවුන්ට කීවේය.
9ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
10ඔබ ඉශ්රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න-ඔබ සැමගෙන්වත් ඔබ සැමගේ පරම්පරාවලින්වත් කිසිවෙකු මළකඳකින් අපවිත්‍රව සිටින නුමුත් දුර ගමනක යෙදී සිටින නුමුත් ඔහු ස්වාමීන්වහන්සේට පාස්කුව පවත්වාවා.
11දෙවෙනි මස දසසතරවෙනි දින සවස ඔව්හු ඒක පවත්වා මුහුන් නැති රොටි සහ තික්ත පලා සමඟ එය කත්වා.
12ඔව්හු එයින් කිසිවක් උදය දක්වා ඉතුරු කරන්නේවත් උගේ ඇටයක් බිඳින්නේවත් නැතුව පාස්කුවේ මුළු පනත ලෙස එය පවත්වන්නෝය.
13නුමුත් පවිත්‍රවූ, ගමනක යෙදී නොසිටින මනුෂ්‍යයෙක් පාස්කුව නොපවත්වා සිටින්නේනම්, ඒ තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය. ස්වාමීන්වහන්සේගේ පූජාව ඊට නියමකළ කාලයෙහි ඔප්පුනොකළ බැවින් ඒ මනුෂ්‍යයා තමාගේ පාපය දරනවා ඇත.
14විදේශියෙක් ඔබ සැම අතරෙහි පදිංචිව සිට ස්වාමීන්වහන්සේට පාස්කුව පවත්වන්ට කැමතිනම් ඔහු පාස්කුවේ පනතද ඒකේ නියෝගයද ප්‍රකාර එය පැවැත්විය යුතුය. විදේශියෙක් වේවා ස්වදේශියෙක් වේවා ඔබ සැමට එකම පනතක් තිබිය යුතුයයි කීසේක.
15තවද මණ්ඩපය පිහිටෙවු දවසේදී වලාකුළකින් මණ්ඩපය එනම් සාක්ෂි කූඩාරම වැසුණේය. සවස්වූ කල මණ්ඩපය මත්තෙහි ගින්නක් වැනි පෙනීමක් පහන් වෙන තුරු තිබුණේය.
16නිරතුරුම එසේ විය. එය වලාකුළෙන්ද රාත්‍රියෙහි ගින්නක පෙනීමෙන්ද වැසුණේය.
17වලාකුළ යම් විටක කූඩාරම මත්තෙන් ඔසවනලද්දේද ඉන්පසු ඉශ්රායෙල් පුත්‍රයෝ ගමන්කළෝය. වලාකුළ යම් තැනක නැවතුණේද එතැන්හි ඉශ්රායෙල් පුත්‍රයෝ කූඩාරම් ගසාගත්තෝය.
18ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ඉශ්රායෙල් පුත්‍රයෝ ගමන්කළෝය, ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ඔව්හු කූඩාරම් ගසාගත්තෝය. වලාකුළ මණ්ඩපය පිට නැවතී තිබුණු මුළු කාලයෙහි ඔව්හු තමුන්ගේ කූඩාරම්වල සිටියෝය.
19වලාකුළ මණ්ඩපය පිට බොහෝ දවස් නැවතුණු කල ඉශ්රායෙල් පුත්‍රයෝ ගමන් නොකොට ස්වාමීන්වහන්සේගේ සේවය බලාගත්තෝය.
20සමහරවිට වලාකුළ මණ්ඩපය පිට ස්වල්ප දවසක් නැවතුණේය; එකල ඔව්හු ස්වාමීන්වහන්සේගේ අණ ලෙස කූඩාරම්වල නැවතී සිටියෝය, ඔව්හු ස්වාමීන්වහන්සේගේ අණ ලෙස ගමන් කළෝය.
21සමහරවිට වලාකුළ සවස පටන් උදය දක්වා නැවතී තිබුණේය; උදය වලාකුළ ඔසවනු ලැබූ විට ඔව්හු ගමන්කළෝය. දවාලේ හෝ රාත්‍රියේ හෝ වලාකුළ ඔසවනු ලැබුයේනම් ඔව්හු ගමන්කළෝය.
22වලාකුළ දෙදවසක් හෝ මසක් හෝ අවුරුද්දක් හෝ මණ්ඩපය පිට නැවතී තිබුණු කල ඉශ්රායෙල් පුත්‍රයෝ ගමන් නොකර තමුන්ගේ කූඩාරම්වල නැවතී සිටියෝය. නුමුත් එය ඔසවනු ලැබූ කල ඔව්හු ගමන් කළෝය.
23ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ඔව්හු කූඩාරම් ගසාගත්තෝය, ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ඔව්හු ගමන්කළෝය. ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු හැටියට ඔව්හු ස්වාමීන්වහන්සේගේ සේවය බලාගත්තෝය.