Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
28 verses
1තරඟ ඇත්තාවූ, මංගල භෝජනවලින් පිරී තිබෙන ගෙයකට වඩා සමාදානය ඇතුව වියළි රොටි කෑල්ලක් හොඳය.
2නුවණින් හැසිරෙන මෙහෙකරුවෙක් ලජ්ජාව උපදවන පුත්‍රයෙකු කෙරෙහි ආණ්ඩුකරයි, සහෝදරයන් අතරේද ඔහු උරුමය බෙදාගනියි.
3රිදීවලට කෝවයද රන්වලට උදුනද තිබේ; එහෙත් සිත් සෝදිසිකරන්නේ ස්වාමීන්වහන්සේය.
4නපුර කරන්නා දුෂ්ට තොල්වලට ඇහුම්කන්දෙයි; බොරුකාරයා ප්‍රයෝගකාර දිවට කන් යොමුකරයි.
5දිළින්දාට සරදම්කරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරයි; විපත්තියට ප්‍රීතිවෙන්නා දඬුවම් නොලැබ නොසිටියි.
6මහල්ලන්ගේ ඔටුන්න නම් දරුවන්ගේ දරුවෝය; දරුවන්ගේ පාරට්ටුව ඔවුන්ගේ පියවරුය.
7උතුම් කථාව මෝඩයෙකුට නොහොබනේය; බොරුකාර දිව උත්තමයෙකුට ඊටත් වඩා නොහොබනේය.
8තෑග්ගක් ලබන්නාට එය මැණිකක් මෙන් පෙනේ; එය කොයි අතට හැරෙතත් සඵලවේ.
9වරදක් වසාලන්නා ප්‍රේමය සොයන්නේය. එහෙත් කාරණයක් නැවත මතුකරන්නා හිතමිත්‍රයන් වෙන්කරන්නේය.
10අඥානයෙකුට පහර සියයකට වඩා, නුවණ ඇත්තෙකුට තරවටුව වදින්නේය.
11කැරළිකාරයා නපුර පමණක් සොයන්නේය; එබැවින් ඔහුට විරුද්ධව කෲර පණිවිඩකාරයෙක් යවනු ලැබේ.
12අඥානයෙකු තමාගේ මෝඩකමේදී සම්බවීමට වඩා පැටවුන් නැතිවුණු වැලහින්නියක් මනුෂ්‍යයෙකුට සම්බවීම හොඳය.
13යහපතට නපුර කරන්නාගේ ගෙයින් විපත පහ නොවන්නේය.
14ඩබරය පටන්ගැන්ම වක්කඩක් අරින්නාක්මෙන්ය; එබැවින් තරඟය ඇවිස්සෙන්ට පළමුවෙන් එය අත්හරින්න.
15දුෂ්ටයා නිදොස්කරන්නාද ධර්මිෂ්ඨයා වරදට පත්කරන්නාද යන දෙදෙනාම ස්වාමීන්වහන්සේට එකාකාර පිළිකුලක්ය.
16තේරුම් නැතුව තිබියදී, ප්‍රඥාව ලබාගැනීමට අඥානයාගේ අතෙහි මිල තිබීම කුමටද?
17මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය, සහෝදරයෙක් ඉපද සිටින්නෙත් විපත්තියේදී පිහිටවීමටය.
18තේරුම් නැති මනුෂ්‍යයා අතගසමින් තම අසල්වාසියා ඉදිරියෙහි ඇපවෙන්නේය.
19ඩබරයට ප්‍රියවෙන්නා වරදට ප්‍රියවෙයි; තමාගේ දොරකඩ උස්කොට සාදන්නා විනාශය සොයයි.
20වංක සිතක් ඇත්තාට ශුභසිද්ධ නොවන්නේය; දිව් දෙකක් ඇත්තාද විපතට වැටෙන්නේය.
21අඥානයෙකු උපදවන්නාට ශෝකය වන්නේය. මෝඩයෙකුගේ පියාට සන්තෝෂයක් නැත.
22තුෂ්ටිමත් සිත හොඳ ඖෂධයකි; නුමුත් බිඳුණු ආත්මය ඇට වියළවයි.
23යුක්තියේ මාවත් පෙරළීමට දුෂ්ටයා ඔඩොක්කුවෙන් තෑග්ගක් පිළිගනියි.
24තේරුම් ඇත්තා ඉදිරියෙහිම ප්‍රඥාව ඇත්තේය; එහෙත් අඥානයාගේ ඇස් පොළොවේ කෙළවරට යන්නේය.
25අඥාන පුත්‍රයා තම පියාට ශෝකයක්ය, ඔහු බිහිකළ තැනැත්තීටද දුකක්ය.
26ධර්මිෂ්ඨයාට දඩගැසීමවත් අවංකකම නිසා උත්තමයන්ට පහර දීමවත් හොඳ නැත.
27තමාගේ වචන ස්වල්පකරගන්න අය දැනගැන්ම ඇති කෙනෙක්ය; නිශ්චල ආත්මයක් ඇත්තාද ඥානවන්තයෙක්ය.
28මෝඩයෙක් පවා නිශ්ශබ්දව සිටින විට ප්‍රඥාවන්තයෙකු මෙන්ද, ඔහු තමාගේ තොල් පියාගන සිටිනවිට තේරුම් ඇත්තෙකු මෙන්ද සලකනු ලැබේ.