Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
27 verses
1බොහෝ වර තරවටු ලැබත් තමාගේ කුළල තදකරගන්නා ගැළවීමක් නැතුව හදිසියෙන් පොඩිකරනු ලැබේ.
2ධර්මිෂ්ඨයන්ට බලය තිබෙන කල සෙනඟ ප්‍රීතිවෙති; එහෙත් දුෂ්ටයෙක් ආණ්ඩුකරන කල සෙනඟ සුසුම්ලති.
3ප්‍රඥාවට ප්‍රියවන්නා තමාගේ පියා ප්‍රීතිකරන්නේය; එහෙත් වේශ්‍යාවන් ආශ්‍රයකරන්නා තමාගේ සම්පත් නැතිකරන්නේය.
4රජ තෙමේ යුක්තියෙන් දේශය ස්ථිරකරයි; එහෙත් බලෙන් තෑගි ලබාගන්න මනුෂ්‍යයා ඒක පෙරළාදමයි.
5තමාගේ අසල්වාසියාට ඉච්චාකරන්නා ඔහුගේ පාදවලට දැලක් එළයි.
6නපුරු මනුෂ්‍යයෙකුගේ වරදකිරීමෙහි මලපතක් ඇත. එහෙත් ධර්මිෂ්ඨයා ගීතිකා කියමින් සන්තෝෂවෙයි.
7ධර්මිෂ්ඨයා දුප්පතුන්ගේ පැමිණිල්ල දැනගන්නේය; දුෂ්ටයාට ඒක දැනගන්ට තේරුමක් නැත.
8නින්දාකරන මනුෂ්‍යයෝ නගරයෙහි ගිනි අවුළුවති; එහෙත් ප්‍රඥාවන්තයෝ උදහස පහකරති.
9ප්‍රඥාවත් මනුෂ්‍යයෙක් මෝඩ මනුෂ්‍යයෙකු සමඟ විවාදකරන විට ඔහු කෝපවුණත් සිනාසුණත් කාරණය තීන්දු නොවේ.
10මිනීමරුවූ මනුෂ්‍යයෝ නිර්දෝෂ අයට වෛරකෙරෙති. එහෙත් අවංක අය ඔහුගේ ප්‍රාණය ආරක්ෂාකරති.
11අඥානයා තමාගේ මුළු උදහස පිටතට ගෙනෙයි; එහෙත් ප්‍රඥාවන්තයා ඒක නවත්වාගනියි;
12ආණ්ඩුකාරයෙක් මුසාවාදයට ඇහුම්කන්දෙන්නේ නම් ඔහුගේ සියලුම සේවකයෝ දුෂ්ටයෝ වෙති.
13දිළින්දාද පීඩාකරන්නාද සම්මුඛ වෙති; ඔවුන් දෙදෙනාගේම ඇස් එළිය කරන්නේ ස්වාමීන්වහන්සේය.
14දැහැමින් දුප්පතුන් විනිශ්චයකරන රජුගේ සිංහාසනය සදාටම ස්ථිරවන්නේය.
15ඉපලද තරවටුකිරීමද ප්‍රඥාව දෙන්නේය; එහෙත් තමාගේ කැමැත්තට අත්හරිනු ලබන දරුවා තමාගේ මව් ලජ්ජාවට පමුණුවයි.
16දුෂ්ටයන් බහුලවන කල අපරාධ වැඩිවෙයි; එහෙත් ධර්මිෂ්ඨයෝ ඔවුන්ගේ වැටීම දකින්නෝය.
17නුඹේ පුත්‍රයාට දඬුවම්කරන්න, එවිට ඔහු නුඹට නිශ්චලභාවය දෙන්නේය; එසේය, ඔහු නුඹේ ආත්මයට ප්‍රීතිය දෙන්නේය.
18දර්ශනයක් නැති කල සෙනඟ හිතුවක්කාරවෙති; එහෙත් ව්‍යවස්ථාව රක්ෂාකරන්නා වාසනාවන්තයෙක්ය.
19වැඩකාරයෙක් වචනවලට නොහික්මෙන්නේය; මක්නිසාද ඔහුට තේරෙන නුමුත් උත්තරදෙන්නේ නැත.
20තමාගේ වචනවලින් ඉක්මන්වෙන මනුෂ්‍යයෙකු නුඹ දුටුවෙහිද? ඔහුට වඩා අඥානයෙකු ගැන බලාපොරොත්තුවෙන්ට පුළුවන.
21තමාගේ වැඩකාරයා බාල කාලයේ සිට සැපෙන් ඇතිකරන්නාට ඔහු අන්තිමේදී පුත්‍රයෙක් වන්නේය.
22තරහකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි; කෝපවෙන මනුෂ්‍යයෙක්ද බොහෝ වරද කරන්නේය.
23මනුෂ්‍යයෙකුගේ උඩඟුකම ඔහු පහත හෙළයි; එහෙත් සිතින් පහත්ව සිටින්නා ගෞරව ලබයි.
24හොරෙකු සමඟ හවුල්වෙන අය තමාගේම ප්‍රාණයට වෛරවන්නේය; ඔහු දිවුරවීම අසන නුමුත් කිසිවක් නොපවසයි.
25මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.
26බොහෝදෙනෙක් ආණ්ඩුකාරයාගේ කරුණාව සොයති; එහෙත් මනුෂ්‍යයෙකුගේ යුක්තිය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.
27දුෂ්ට මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨයන්ට පිළිකුලක්ය; සෘජුව හැසිරෙන්නා දුෂ්ටයන්ට පිළිකුලක්ය.