Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
35 verses
1මාගේ පුත්‍රය, මාගේ උපදෙස් සිහි නැති නොකර, නුඹේ සිතින් මාගේ ආඥා රක්ෂාකරන්න.
2මක්නිසාද එයින් දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද නුඹට වැඩිවන්නේය.
3කරුණාව සහ සත්‍යවාදිකම නුඹෙන් පහ නොවේවා. ඒවා නුඹේ ගෙල වටේ බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවේ ඒවා ලියාගන්න.
4එවිට නුඹ දෙවියන්වහන්සේගේද මනුෂ්‍යයාගේද ඇස් හමුයෙහි කරුණාවත් යහපත් කීර්තියත් ලබනවා ඇත.
5නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න
6නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.
7නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න.
8ඒක නුඹේ නහරවලට සනීපයද නුඹේ ඇටවලට ප්‍රාණවත්කමද වන්නේය.
9නුඹේ සම්පතින්ද නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමීන්වහන්සේට ගෞරව කරන්න.
10එවිට නුඹේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය, නුඹේ මුද්‍රික යන්ත්රද අලුත් මුද්‍රිකපානයෙන් ඉතිරෙන්නේය.
11මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ තරවටුකිරීම සුළුකොට නොසිතන්න; උන්වහන්සේගේ දඬුවමටද නොකලකිරෙන්න.
12මක්නිසාද පියෙකු ප්‍රිය පුත්‍රයාට දඬුවම්කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් ප්‍රේමකරන අයට දඬුවම්කරනසේක.
13ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයාද ඥානය ලබාගන්න මනුෂ්‍යයාද වාසනාවන්තයෝය.
14මක්නිසාද එහි ප්‍රයෝජනය රිදීවල ප්රයෝජනයටත් එහි ලාභය පිරිසිදු රනටත් වඩා හොඳය.
15ඈ රතුකැටවලට වඩා අනර්ඝය. නුඹේ සියලුම ප්‍රිය දේ ඈට සමානකළ නොහැක.
16ඇගේ දකුණතෙහි දීර්ඝායුෂද ඇගේ වමතෙහි වස්තුව හා ගෞරවයද ඇත.
17ඇගේ මාර්ග ප්‍රසන්න මාර්ගවල්ය, ඇගේ සියලුම මාවත් සමාදානයය.
18ඈ අල්ලාගන්නන්ට ඈ ජීවන වෘක්ෂයක්ය; ඈ ලබාගන්නෝ වාසනාවන්තයෝය.
19ස්වාමීන්වහන්සේ ප්‍රඥාව කරණකොටගෙන පොළොවේ අත්තිවාරම් තැබූසේක; ඥානය කරණකොටගෙන අහස පිහිටෙවුසේක.
20උන්වහන්සේගේ දැනගැන්මෙන් ගැඹුරු තැන් හාරනු ලැබුවේය, වලාකුල්වලින්ද පිනි වෑස්සෙන්නේය.
21මාගේ පුත්‍රය, ඒවා නුඹේ ඇස්වලින් පහ නො��ේවා; සාරවූ ඥානයද සිහියද තබාගන්න;
22එවිට ඒවා නුඹේ ආත්මයට ජීවනයත් නුඹේ ගෙලට අලංකාරයත් වන්නේය.
23එවිට නුඹේ පය නොපැකිල, නුඹ සුවසේ නුඹේ මාර්ගයෙහි යන්නෙහිය.
24නුඹ සැතපෙන කල භය නොවන්නෙහිය. එසේය, නුඹ සැතපුණාම නුඹේ නින්ද මිහිරිවන්නේය.
25හදිසි භීතියටවත් දුෂ්ටයන් පිටට පැමිණෙන කුණාටුවටවත් භය නොවන්න.
26මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹේ විශ්වාස භූමියව, නුඹේ පය අසු නොවන ලෙස ආරක්ෂාකරනසේක.
27කරුණාව පෙන්වන්ට නුඹේ අතෙහි බලය තිබියදී, ඕනෑකරන අයගෙන් එය වලක්වානොගන්න.
28නුඹ ළඟ තිබෙද්දීත්: ගොස් නැවත එන්න, හෙට දෙන්නෙමියි නුඹේ අසල්වාසියාට නොකියන්න.
29නුඹේ අසල්වාසියා නුඹ සමීපයෙහි නිසැකව වාසයකරද්දී ඔහුට විරුද්ධව නපුරක් නොයොදන්න.
30මනුෂ්‍යයෙක් නුඹට අනදරයක් නොකර සිටිද්දී නිකරුණේ ඔහු සමඟ පොරට නොයන්න.
31බලහත්කාරකම්කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න, ඔහුගේ මාර්ගවලින් එකක්වත් තෝරා නොගන්න.
32මක්නිසාද වංක තැනැත්තා ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය. නුමුත් උන්වහන්සේගේ මිත්‍රකම අවංක අය සමඟ ඇත්තේය.
33ස්වාමීන්වහන්සේගේ ශාපය දුෂ්ටයාගේ ගෙය පිට තිබේ; නුමුත් ධර්මිෂ්ඨයන්ගේ නිවාසයට උන්වහන්සේ ආශීර්වාදකරනසේක.
34නින්දාකරන්නන්ට සැබවින්ම උන්වහන්සේ නින්දාකරනසේක, යටහතුන්ට නම් කරුණාව දෙනසේක.
35ඥානවන්තයන්ට ගෞරවය උරුමවේ; නුමුත් අඥානයන්ට ලැබෙන්නේ ලජ්ජාවය.