Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
18 verses
1ප්‍රඥාතොමෝ ඇගේ ගෙය ගොඩනඟා, ඇගේ කුළුනු සත කපා තිබේ.
2ඇගේ සතුන් මරා ,ඇගේ මුද්‍රිකපානය මිශ්‍රකොට, ඇගේ මේසයද පිළියෙළකර තිබේ.
3ඇගේ තරුණියන් ඈ පිටත්කර හැර: අනුවණවූ කවුරු නුමුත් මෙහි හැරී ඒවයි
4නගරයේ උස්තැන්හි සිට මොරගසන්නීය. තේරුම් නැති තැනැත්තාට ඈ මෙසේ කියයි:
5එන්න, මාගේ කෑමෙන් කා, මා පෙරා තිබෙන මුද්‍රිකපානයෙන් බොන්න.
6මෝඩකම් අත්හැර ජීවත්වෙන්න; ප්‍රඥා මාර්ගයෙහි යන්න.
7නින්දාකරන්නෙකුට අවවාදකරන්නා තමාට ලජ්ජාවද, දුෂ්ටයෙකුට තරවටුකරන්නා තමාට කැලලක්ද පමුණුවාගන්නේය.
8නින්දාකරන්නෙකුට තරවටු නොකරන්න, එසේ කළොත් ඔහු නුඹට වෛරවෙයි. ඥානවන්තයෙකුට තරවටුකරන්න, ඔහු නුඹට ප්‍රේමකරයි.
9ඥානවන්තයෙකුට ගුරුකම් දෙන්න, ඔහු වඩා ඥානවන්තවන්නේය. ධර්මිෂ්ඨයෙකුට උගන්වන්න, ඔහු ඉගෙනගැන්මෙහි දියුණුවන්නේය.
10ප්‍රඥාවේ පටන්ගැන්ම නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමය. ශුද්ධ තැනැන්වහන්සේ දැනගැනීම නුවණ වේ.
11මක්නිසාද මා කරණකොටගෙන නුඹේ දවස් වැඩිවෙයි, ජීවිතයේ අවුරුදුද නුඹට එකතුකරනු ලැබේ.
12නුඹ ඥානවන්ත නම්, නුඹ ඥානවන්තවන්නේ නුඹ උදෙසාය. නුඹ නින්දාකරන්නෙහි නම්, නුඹම එය ඉවසන්නෙහිය.
13අඥාන ස්ත්‍රිය ඝෝෂාකාරීව, මෝඩව, කිසිත් නොදැන සිටින්නීය.
14තමුන්ගේ මාර්ගවල කෙළින්ම යමින් ගමනේ යෙදෙන අයින්ට අඬගසන පිණිස,
15ඈ නගරයේ උස් තැන්වල ඇගේ ගෙයි දොරකඩ ආසනයක හිඳගන්නීය.
16අනුවණවූ කවුරු නුමුත් මෙහි හැරී ඒවායි කියන්නීය. තේරුම් නැති අයට ඈ කථාකොට:
17සොරෙන් ගත් වතුර මිහිරිය, රහසින් කන කෑම රසවත්යයි කියන්නීය.
18නුමුත් මළවුන් එහි සිටින බවත් ඇය විසින් කැඳවාගත් අය ෂෙයොලේ මිටියාවත්වල ඉන්න බවත් ඔහු නොදනියි.