Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
28 verses
1ස්වාමිනි, මාගේ යාච්ඤාව ඇසුව මැනව, මාගේ මොරගැසීම ඔබ වෙතට පැමිණේවා.
2මට විපත්ති පැමිණි දවසේදී ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව. මා දෙසට ඔබගේ කන යොමුකළ මැනව; මා අඬගසන දවසේ ඉක්මනින් මට උත්තරදුන මැනව.
3මක්නිසාද මාගේ දවස් දුම් මෙන් ගෙවීයයි, මාගේ ඇට ගිනිපෙනෙල්ලක් මෙන් දැවෙයි.
4මාගේ සිත තණකොළ මෙන් තැළී වියළී තිබේ; මක්නිසාද ආහාර ගැනීම මට මතක නැතිවෙයි.
5මාගේ සුසුම්ලීමේ ශබ්දය නිසා මාගේ ඇට මසට ඇලෙයි.
6මම වනයේ කරවැල්කොකෙකු සමානවෙමි; පාළු තැන්හි වසන බකමූණෙකු මෙන් වෙමි.
7මම නිදා නොගෙන වහල පිට තනිව සිටින ගේකුරුල්ලෙකු සමානවෙමි.
8මාගේ සතුරෝ දවස මුළුල්ලේ මට නින්දාකෙරෙති; මට ක්‍රෝධවන්නෝ මා මතක්කොට ශාපකරති.
9ඔබගේ කෝපය හා උදහස නිසා ආහාර මෙන් අළු අනුභවකෙළෙමි,
10මාගේ බිම වැලපීමෙන් මිශ්‍රකෙළෙමි. මක්නිසාද ඔබ මා ඔසවා පහතට හෙළූසේක.
11මාගේ දවස් බැසයන සෙවණැල්ලක් මෙන්ය; මම තණකොළ මෙන් වියළී සිටිමි.
12එහෙත් ස්වාමිනි, ඔබ සදාකල් වැඩ ඉන්නසේක; ඔබ සිහිවීමද සියලු පරම්පරාවලට වන්නේය.
13ඔබ නැගිට සියොන්ට කරුණාකරනසේක. ඊට අනුකම්පාකළ යුතු කාලය දැන්ය, එසේය, නියම කාලය පැමිණ තිබේ.
14මක්නිසාද ඔබගේ මෙහෙකරුවෝ එහි ගල්වලට ප්‍රියවෙති, එහි දූවිල්ලට අනුකම්පාකෙරෙති.
15එහෙයින් ජාතීහු ස්වාමීන්ගේ නාමයටත් පොළොවේ සියලු රජවරු ඔබගේ මහිමයටත් භයවන්නෝය.
16මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් ගොඩනැගූසේක, ස්වකීය මහිමයෙන් ප්‍රකාශවූසේක;
17උන්වහන්සේ අසරණයන්ගේ යාච්ඤාව සැලකූසේක, ඔවුන්ගේ යාච්ඤාව හෙළා නොදැක්කසේක.
18මෙය මතු එන පරම්පරාව උදෙසා ලියනු ලබන්නේය. මවනු ලබන සෙනඟක්ද ස්වාමීන්ට ප්‍රශංසාකරන්නේය.
19මනුෂ්‍ය වර්ගයන්ද රාජ්‍යවල්ද ස්වාමීන්ට මෙහෙකිරීමට එකට රැස් වූ කල,
20මනුෂ්‍යයන් විසින් සියොන්හිදී ස්වාමීන්ගේ නාමයත් යෙරුසලමේදී උන්වහන්සේගේ ප්‍රශංසාවත් ප්‍රකාශකරන පිණිස,
21හිරකාරයාගේ සුසුම්ලීම අසන්ටත් මරණයට නියමවූවන් මුදන්ටත්
22ස්වාමීන්වහන්සේ ස්වකීය ශුද්ධවූ උසස්ථානයේ සිට පහළ බැලූසේක; උන්වහන්සේ ස්වර්ගයේ සිට පොළොව බැලූසේක.
23උන්වහන්සේ මාර්ගයේදී මාගේ ශක්තිය හීනකොට, මාගේ දවස් ලුහුඬුකළසේක,
24මමද කථාකොට: මාගේ දෙවියන්වහන්ස, මාගේ දවස් මාධ්‍යයෙහිදී, මා අහක් නොකළ මැනව. ඔබගේ අවුරුදු සියලු පරම්පරාවලට වන්නේයයි කීයෙමි.
25ආදියෙහි ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක; ආකාශය ඔබගේ අත් වැඩය වේ.
26ඒවා විනාශවන්නේය, නුමුත් ඔබ පවත්නාසේක. එසේය, ඒ සියල්ල වස්ත්‍රයක් මෙන් පරණවන්නේය; උතුරු සළුවක් මෙන් ඔබ ඒවා මාරුකරනසේක, ඒවාද මාරුවන්නේය.
27නුමුත් ඔබ එකාකාරමය, ඔබගේ අවුරුදු කෙළවර නොවන්නේය.
28ඔබගේ මෙහෙකරුවන්ගේ දරුවෝ පවතින්නෝ, ඔවුන්ගේ වංශයද ඔබ ඉදිරියෙහි පිහිටුවනු ලබන්නේය.