Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
24 verses
1ස්වාමිනි, ඔබ කෙරෙහි විශ්වාසකරමි; කිසිකලකත් ලජ්ජා නොවෙම්වා. ඔබගේ ධර්මිෂ්��කමින් මා මිදුව මැනව.
2මා දෙසට ඔබගේ කන නමා, ඉක්මනින් මා මිදුව මැනව. මා ගළවන්ට ශක්තිමත් පර්වතයක්ද ආරක්ෂා ගෘහයක්ද වුව මැනව.
3මක්නිසාද ඔබ මාගේ පර්වතය සහ බලකොටුවය; එබැවින් ඔබගේ නාමය නිසා මට මඟ පෙන්වමින් මා ගෙනගිය මැනව.
4ඔවුන් රහසින් මට හෙළූ දැලින් මා බැහැරගත මැනව; මක්නිසාද ඔබ මාගේ රක්ෂාස්ථානයය.
5ඔබ අතට මාගේ ආත්මය භාරදෙමි. සැබෑකමේ දෙවිවූ ස්වාමිනි, ඔබ මා මිදූසේක.
6බොරුවූ හිස්වූ දේ සලකන්නන්ට ද්වේෂකරමි. නුමුත් මම ස්වාමීන් කෙරෙහි විශ්වාස කරමි.
7ඔබගේ කරුණාව ගැන සතුටුව ප්‍රීති වන්නෙමි. මක්නිසාද ඔබ මාගේ පීඩාව දුටුසේක; පීඩාවලදී මාගේ ආත්මය හැඳිනගත්සේක.
8ඔබ සතුරාගේ අතේ මා හිරකොට නොතැබූසේක; විශාල භූමියක මාගේ පාද පිහිටෙවුසේක.
9ස්වාමිනි, මට කරුණාකළ මැනව, මක්නිසාද මම දුකින් සිටිමි. මාගේ ඇස, එසේය, මාගේ ආත්මයත් ශරීරයත් ශෝකයෙන් වැහැරයයි.
10මාගේ ජීවිතය කනගාටුවෙන්ද මාගේ අවුරුදු සුසුම්ලීමෙන්ද ගෙවී තිබේ. මාගේ අයුතුකම නිසා මාගේ ශක්තිය පිරිහෙයි, මාගේ ඇටද ක්ෂයවී තිබේ.
11මාගේ සියලු එදිරිකාරයන් නිසා අධික වශයෙන් මාගේ අසල්වාසීන්ට නින්දාවක්ව සිටිමි, මා අඳුනන්නන්ට භීතියක්ව සිටිමි. පිටතදී මා දුටුවෝ මා කෙරෙන් පලාගියෝය.
12සිතින් තොරවූ මළ තැනැත්තෙකු මෙන් මතක් නොවී සිටිමි. බිඳුණු භාජනයක් මෙන් වෙමි.
13මක්නිසාද බොහෝ දෙනෙකුගේ කෙලසුම් බස් ඇසීමි, හාත්පස භීතිය ඇත්තේය. මට විරුද්ධව එක්ව මන්ත්‍රණයකරද්දී, ඔව්හු මාගේ ජීවිතය පැහැරගන්ට උපා යෙදුවෝය.
14එහෙත් ස්වාමිනි, මම ඔබ කෙරෙහි විශ්වාසකෙළෙමි. ඔබ මාගේ දෙවියන්වහන්සේයයි කීමි.
15මාගේ කාලයන් ඔබ අතේය. මාගේ සතුරන් අතින්ද මට පීඩා කරන්නන්ගෙන්ද මා මුදාහැරිය මැනව.
16ඔබගේ මෙහෙකරුවා කෙරෙහි ඔබගේ මුහුණ බැබළෙවුව මැනව. ඔබගේ කරුණාවෙන් මා ගැළෙවුව මැනව.
17මම ලජ්ජා නොවෙම්වා; මක්නිසාද ඔබට හඬගැසීමි. දුෂ්ටයෝ ලජ්ජාවෙත්වා, ෂෙයෝලෙහි 31:17හෙවත්, පාතාලයෙහි. නිශ්ශබ්දවෙත්වා.
18ආඩම්බරයෙන් හා හෙළාදැක්මෙන් ධර්මිෂ්ඨයාට විරුද්ධව උඩඟුලෙස කථා කරන්නාවූ බොරුකියන තොල් නිශ්ශබ්දවේවා.
19ඔබ කෙරෙහි භය ඇත්තන්ට නිධාන කොට තැබුවාවූ, ඔබ කෙරෙහි විශ්වාසය තබන්නන්ට මනුෂ්‍ය පුත්‍රයන් ඉදිරියෙහි ඔබ කළාවූ ඔබගේ යහපත්කම කොපමණ මහත්ද!
20මනුෂ්‍යයාගේ කුමන්ත්රණවලින් ඔබ හමුයෙහිවූ අප්‍රකාශස්ථානයෙහි ඔබ ඔවුන් සඟවනසේක. මුඛ විවාදයෙන් ඔවුන් විමානයෙක්හි රහස්ලෙස ආරක්ෂාකරනසේක.
21ස්වාමීන්ට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ශක්තිමත් නුවරදී තමන් පුදුමවූ කරුණා ගුණය මට පෙන්වූසේක.
22මම වනාහි: ඔබගේ ඇස් හමුයෙන් සිඳිනු ලබමියි ඉක්මන්කමින් කීයෙමි. එහෙත් මා ඔබට මොරගැසූ කල ඔබ මාගේ කන්නලව් ශබ්දය ඇසූසේක.
23ස්වාමීන්ගේ සියලු ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට ප්‍රේමකරව්. ස්වාමීන්වහන්සේ විශ්වාස ඇත්තන් ආරක්ෂාකරනසේක, උඩඟුලෙස ක්‍රියාකරන්නාට බොහෝසෙයින් ප්‍රතිඵලදෙනසේක.
24ස්වාමීන් කෙරෙහි බලා සිටින සියල්ලෙනි, ශක්තිමත් වව්; තොපගේ සිත ධෛර්යවත් වේවා.