Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
22 verses
1ධර්මිෂ්ඨයෙනි, ස්වාමීන් කෙරෙහි ප්‍රීතිමත් වව්. ප්‍රශංසාකිරීම අවංකයන්ට හොබනේය.
2වීණාවෙන් ස්වාමීන්ට ස්තුතිකරව්. තත් දවසේ වීණාව රැගෙන උන්වහන්සේට ප්‍රශංසා ගීතිකා කියව්.
3උන්වහන්සේට අලුත් ගීතිකාවක් ගායනාකරව්; මහත් ශබ්දයකින් දක්ෂලෙස වාදනය කරව්.
4මක්නිසාද ස්වාමීන්ගේ වචනය සෘජුය; උන්වහන්සේගේ ක්‍රියා සියල්ල විශ්වාසකමෙන් කෙරෙන්නේය.
5උන්වහන්සේ ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රියවනසේක. පොළොව ස්වාමීන්ගේ කරුණා ගුණයෙන් පූර්ණය.
6ස්වාමීන්ගේ වචනයෙන් ආකාශයද උන්වහන්සේගේ මුඛයේ හුස්මෙන් එහි සියලු සේනාවද මවනලද්දේය.
7උන්වහන්සේ සමුද්‍ර ජලධාරාවන් ගොඩක් සේ රැස්කොට, ගැඹුරු ජලයන් ගබඩාවල නිධාන කොට තබනසේක.
8මුළු පොළොව ස්වාමීන්ට භයවේවා. ලෝ වැසි සියල්ලෝ උන්වහන්සේ කෙරෙහි භයින් සිටිත්වා.
9මක්නිසාද උන්වහන්සේ කථාකළ පමණින් ඉෂ්ටවිය; ආඥාකළ පමණින් ස්ථිරවිය.
10ස්වාමීන්වහන්සේ ජාතීන්ගේ මන්ත්‍රණය නිරර්ථක කරනසේක. මනුෂ්‍ය වර්ගයන්ගේ සිතිවිලි නිෂ්ඵල කරනසේක.
11ස්වාමීන්ගේ මන්ත්‍රණය සදාකාලයටද උන්වහන්සේගේ සිත්හි කල්පනා සියලු පරම්පරාවලටද පවත්නේය.
12ස්වකීය දෙවියන් කොට ස්වාමීන්වහන්සේ ඇතුව සිටින ජාතියද, උන්වහන්සේ විසින් ස්වකීය උරුමය කොට තෝරාගත් සෙනඟද ආශීර්වාද ලද්දෝය.
13ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට බලනසේක; සියලු මනුෂ්‍යපුත්‍රයන් දක්නාසේක;
14උන්වහන්සේ ස්වකීය වාසස්ථානයේ සිට පොළෝවාසී සියල්ලන් දෙස බලනසේක;
15ඔවුන් සියල්ලන්ගේ සිත් සාදන්නේ උන්වහන්සේමය, ඔවුන්ගේ සියලු ක්‍රියා සලකන්නෙත් උන්වහන්සේමය.
16මහත් සේනාව කරණකොටගෙන ගැළවුණු රජෙක් නැත. බලසම්පන්න මනුෂ්‍යයෙක් තමාගේ මහත් ශක්තියෙන් නොගැළවෙයි.
17ආරක්ෂා පිණිස අශ්වයෙක් නිෂ්ඵලය. ඌ ස්වකීය මහත් බලයෙන් කිසිවෙකු නොගළවන්නේය.
18බලව, ස්වාමීන් කෙරෙහි භය ඇත්තන් සහ උන්වහන්සේගේ කරුණාව බලා සිටින්නන්ගේ ආත්මය මරණයෙන් ගළවන පිණිසත්,
19දුර්භික්ෂයේදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන පිණිසත්, උන්වහන්සේගේ ඇස ඔවුන් කෙරෙහි යොමුකොට තිබේ.
20අපේ ආත්මය ස්වාමීන් කෙරෙහි බලාසිටියේය. අපේ උපකාරයත් පලිහත් උන්වහන්සේය.
21අප උන්වහන්සේගේ ශුද්ධ නාමය විශ්වාසකළ නිසා අපේ සිත උන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වන්නේය.
22ස්වාමීනි, ඔබ කෙරෙහි අප බලාපොරොත්තුව සිටිය ආකාරයෙන් ඔබගේ කරුණාව අප කෙරෙහි වේවා.