Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
28 verses
1ස්වාමිනි, මා සමඟ විවාදකරන්නන් සමඟ විවාදකළ මැනව. මට විරුද්ධව යුද්ධකරන්නන්ට විරුද්ධව යුද්ධකළ මැනව.
2පලිහත් මහ පලිහත් ගෙන, මට පිහිටවෙන පිණිස නැගුටුණ මැනව.
3හෙල්ලයත් ඇද මා ලුහුබඳින්නන් වැලැක්වුව මැනව. මම ඔබ සැමගේ ගැළවීමයයි මාගේ ආත්මයට කිව මැනව.
4මාගේ ප්රාණය සොයන්නෝ ලජ්ජාවී අගෞරවයට පැමිණෙත්වා. මට අන්තරාය යොදන්නෝ පස්සට හරවනු ලැබ වියවුල්වෙත්වා.
5ඔව්හු හුළඟ ඉදිරියෙහි බොල් මෙන් වෙත්වා, ස්වාමීන්ගේ දූතයා ඔවුන් එළවා යේවා.
6ඔවුන්ගේ මාර්ගය අඳුරුව ලිස්සන්නේවේවා, ස්වාමීන්ගේ දූතයා ඔවුන් ලුහුබදීවා.
7මක්නිසාද ඔව්හු නිෂ්කාරණයේ මට ඔවුන්ගේ දැල වළක සඟවා තැබූය, නිෂ්කාරණයේ මාගේ ප්රාණයට වළක් හෑරුවෝය.
8නොදැනී විනාශය ඔහු පිටට පැමිණේවා; ඔහු සඟවා තිබූ දැලට ඔහුම අසුවේවා; ඔහු විනාශයට පැමිණ එහි වැටේවා.
9මාගේ ආත්මය ස්වාමීන් කෙරෙහි සතුටුවන්නේය. උන්වහන්සේගේ ගැළවීම කෙරෙහි ප්රීතිවන්නේය.
10ස්වාමීනි, දුප්පතා ඔහුට වඩා බල වන්තයාගෙන් මුදන්නාවූ, දුප්පතා හා දිළිඳා කොල්ලකාරයාගෙන් ගළවන්නාවූ ඔබ සමාන කවරේදැයි මාගේ ඇට සියල්ලෙන් කියවෙන්නේය.
11අධර්මිෂ්ඨ සාක්ෂිකාරයෝ නැඟිට, මා නොදන්න කාරණා ගැන මාගෙන් අසති.
12මාගේ ආත්මය අසරණවන ලෙස ඔව්හු මට යහපත වෙනුවට නපුර කෙරෙති.
13මම වනාහි ඔවුන් රෝගාතුරවූ කල ගෝණිරෙදි ඇන්දෙමි. නිරාහාරව සිටීමෙන් මාගේ ආත්මයට පීඩාකරගතිමි; මාගේ යාච්ඤාවද මාගේම ළයට හැරී ආයේය.
14මාගේ මිත්රයෙක් නොහොත් සහෝදරයෙක් මෙන් ඔහු ගැන ක්රියා කෙළෙමි. මෑණියන් ගැන ශෝකවන්නෙකුසේ දුකින් වැතිර සිටියෙමි.
15එහෙත් මා පැකුලුණු කල ඔව්හු ප්රීතිමත්ව රැස්වූවෝය. නීචයෝ මට විරුද්ධව රැස්වූය, එය දැන නොගත්තෙමි; ඔව්හු නොනැවතී මා ඉරාදැමුවෝය.
16මංගල්යවලදී අභක්තික කවටයන් මෙන් ඔව්හු මට එදිරිව දත්මිටිකෑවෝය.
17ස්වාමීනි, ඔබ කොපමණ කල් බලා සිටිනසේක්ද? මාගේ ආත්මය ඔවුන් යොදන විනාශවලින්ද මාගේ ප්රිය ප්රාණය සිංහයන්ගෙන්ද මුදාගත මැනව.
18මහත් සභාවේදී ඔබට ස්තුතිකරන්නෙමි. බොහෝ සෙනඟ අතරේ ඔබට ප්රශංසා කරන්නෙමි.
19මට සතුරුව සිටින්නෝ අයුත්තේ මා ගැන ප්රීතිමත් නොවෙත්වා. නිෂ්කාරණයේ මට වෛරවන්නෝ ඇස ඉඟි නොකෙරෙත්වා.
20මක්නිසාද ඔව්හු සමාදානය පිණිස කථා නොකෙරෙති. දේශයෙහි නිශ්චලව සිටින්නන්ට විරුද්ධව වංචා වචන යොදති.
21එසේය, ඔව්හු මට විරුද්ධව කට අයා: ඔහෝ, ඔහෝ, අපේ ඇසින් දුටිමුයයි කීවෝය.
22ස්වාමීනි, ඔබ එය දුටුසේක, නිශ්ශබ්ද නූව මැනව. ස්වාමීනි, මා කෙරෙන් ඈත් නූව මැනව;
23මාගේ දෙවියනි, මාගේ ස්වාමීනි, මාගේ යුක්තිය පිණිස එනම් මාගේ කාරණය සඳහා පිබිද නැගුටුණ මැනව.
24මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබගේ ධර්මිෂ්ඨකම ලෙස මා විනිශ්චයකළ මැනව; මා ගැන ඔව්හු ප්රීති නොවෙත්වා.
25ඔහෝ, අපේ කැමැත්ත සිදුවීයයි ඔව්හු සිතින් නොකියත්වා. අපි ඔහු ගිලගතිමුයයි නොකියත්වා.
26මාගේ අන්තරායට ප්රියවන්නෝ එක්ව ලජ්ජාවී වියවුල්වෙත්වා. මට විරුද්ධව උඩඟුවෙන්නෝ තුමූම ලජ්ජාවෙනුත් නින්දාවෙනුත් හඳවනු ලබත්වා.
27මාගේ ධර්මිෂ්ඨ කාරණයට ප්රියවන්නෝ ප්රීතිඝෝෂා කෙරෙත්වා, සන්තෝෂවෙත්වා. එසේය: තමන් මෙහෙකරුවාගේ යහපතට ප්රියවූ ස්වාමීන්වහන්සේ උසස්වනසේක්වයි ඔව්හු නිතරම කියත්වා.
28මාගේ දිව ඔබගේ ධර්මිෂ්ඨකම ගැනද ප්රශංසාව ගැනද දවස මුළුල්ලේ කථාකරන්නේය.