Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
22 verses
1ස්වාමිනි, ඔබගේ උදහසින් මට තරවටු නොකළ මැනව. ඔබගේ කෝපයෙන් මට දඬුවම් නො���ළ මැනව.
2මක්නිසාද ඔබගේ ඊගස් මට තදින් ඇනී තිබේ, ඔබගේ අතද මා පිට බරවේ.
3ඔබගේ උදහස නිසා මාගේ මාංසයෙහි කිසි නිරෝගි බවක් නැත; මාගේ පාපය නිසා මාගේ ඇටවලට කිසි සැපයක් නැත.
4මක්නිසාද මාගේ අයුතුකම් මාගේ හිස වසා නැංගේය. ඒවා අධික බරක් මෙන් මට ඉතා බරවෙයි.
5මාගේ මෝඩකම නිසා මාගේ තුවාල දුර්ගන්ධව පිළිකුල්ව තිබේ.
6මම වේදනා විඳිමින් අතිශයින් නැමී වැතිර සිටිමි; දවස මුළුල්ලේම වැලපෙමින් පසුවෙමි.
7මක්නිසාද මාගේ තුනටිය දැවිල්ලෙන් පිරී තිබේ; මාගේ මාංසයෙහි කිසි නිරෝගි බවක් නැත.
8මම ක්ලාන්තව බොහෝසෙයින් තැළී සිටිමි. මාගේ සිතේ කැළඹීම නිසා මොර ගෑමි.
9ස්වාමිනි, මාගේ මුළු ආශාව ඔබ ඉදිරියෙහිය; මාගේ සුසුම්ලෑමද ඔබගෙන් සැඟවී නැත.
10මාගේ හෘදය සැලෙයි, මාගේ ශක්තිය හීනවෙයි. මාගේ ඇසේ එළිය පවා මා කෙරෙන් පහව ගියේය.
11මට ආදර ඇත්තෝද මාගේ මිත්‍රයෝද මාගේ විපත්තිය කෙරෙන් ඈත්ව සිටිති; මාගේ නෑයෝ දුරින් සිටිති.
12මාගේ ප්‍රාණය නසන්ට සොයන්නෝ මට මලපත් තබති; මට අන්තරායකරන්ට සොයන්නෝ නපුරු දේ කථාකරමින්, දවස මුළුල්ලේ ප්‍රයෝග යොදති.
13එහෙත් මම බිහිරෙකු මෙන් නොඅසන්නෙමි; කට නාරින ගොළුවෙකුද මෙන් වෙමි.
14එසේය, මම නොඇසෙන්නාවූ, තමාගේ මුඛයෙහි තරවටුකිරීම් නැත්තාවූ මනුෂ්‍යයෙකු මෙන් වෙමි.
15මක්නිසාද, ස්වාමිනි, මම ඔබ කෙරෙහි බලා සිටිමි. මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබම උත්තර දෙනසේක.
16මක්නිසාද: ඔව්හු මා කෙරෙහි ප්‍රීති නොවෙත්වායි මම කීයෙමි. මාගේ පය ලිස්සන විට ඔව්හු මට විරුද්ධව තමුන්ම උසස්කරගනිති.
17මම පැකිලෙන්ට ළංව සිටිමි, මාගේ දුකද නිතරම මා ඉදිරියෙහිය.
18මක්නිසාද මාගේ අයුතුකම කියාදෙමි; මාගේ පාපය නිසා දුක්වෙමි.
19නුමුත් මාගේ සතුරෝ ප්‍රාණවත් වෙති, බලවත්වෙති. අයුතුලෙස මට වෛරවන්නෝද වැඩිවූවෝය.
20මා යහපත අනුව යන නිසා, යහපතට නපුරකරන්නොත් මට සතුරු වෙති.
21ස්වාමිනි, මා අත් නෑරිය මැනව. මාගේ දෙවියන්වහන්ස, මා කෙරෙන් දුරුව නොසිටිය මැනව.
22මාගේ ගැළවීම වූ ස්වාමිනි, මට උපකාර පිණිස ඉක්මන්වුව මැනව.