Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
21 verses
1තවද දෙවියන්වහන්සේගේද බැටළුපැටවාණන්ගේද සිංහාසනයෙන් නික්ම එන්නාවූ පළිඟු මෙන් දීප්තිමත්වූ ජීවනදායක වතුර ඇති ගංගාවක්,
2එහි වීථිය මැද ඔහු මට පෙන්විය. ගඟේ මේ පැත්තේද ඒ පැත්තේද දොළොස් ආකාරයක ඵල දරන, මාස්පතා ඵල දෙන, ජීවන-වෘක්ෂය තිබුණේය. ඒ වෘක්ෂයේ කොළ ජාතීන්ගේ සුවවීම පිණිසය.
3කිසි ශාපයක් තවත් නොවන්නේය. එහි දෙවියන්වහන්සේගේද බැටළුපැටවාණන්ගේද සිංහාසනය වන්නේය. උන්වහන්සේගේ මෙහෙකරුවෝ උන්වහන්සේට මෙහෙකරන්නෝය;
4ඔව්හු උන්වහන්සේගේ මුහුණ දකින්නෝය; උන්වහන්සේගේ නාමයද ඔවුන්ගේ නළල්වල තිබෙන්නේය.
5එහි රාත්‍රියක් තවත් නොවන්නේය. පහන් ආලෝකයවත් සූර්යාලෝකයවත් ඔවුන්ට ඕනෑ නැත; මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ ඔවුන්ට ආලෝකය දෙනසේක. ඔව්හු සදාකාලේටම රජකම්කරන්නෝය.
6තවද ඔහු මට කථාකොට: මේ වචන විශ්වාසය, සැබෑයයි කීයේය. ටික කලකින් සිදුවෙන්ට ඕනෑ දේ තමන්ගේ මෙහෙකරුවන්ට පෙන්වන පිණිස අනාගතවක්තෘවරුන්ගේ ආත්මවල දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් දූතයා එවූසේකැයි මට කීයේය.
7මෙන්න, ඉක්මනින් එමි. මේ පොතේ අනාගතවාක්‍යයේ වචන රක්ෂාකරන්නා ආශීර්වාදලද්දෙකැයි කීයේය.
8මේ දේ ඇසුවාවූ දුටුවාවූ තැනැත්තා යොහන් නම් මමය. මම ඇසූ දුටු කල මේ දේ මට පෙන්වූ දේවදූතයාට නමස්කාරකරන්ට ඔහුගේ පාමුල වැටුණෙමි.
9ඔහු මට කථාකොට: එසේ නොකරන්ට බලාගන්න. මම නුඹේද නුඹේ සහෝදරවූ ප්‍රොපේතවරුන්ගේද මේ පොතේ වචන රක්ෂාකරන්නන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන්වහන්සේට නමස්කාරකරන්නැයි කීවේය.
10තවද ඔහු මට කථාකොට: මේ පොතේ අනාගතවාක්‍යයේ වචන මුද්‍රා නොකරන්න; මක්නිසාද කාලය ආසන්නය.
11අධර්මිෂ්ඨ තැනැත්තා මතුත් අධර්මිෂ්ඨකම් කරාවා. අපවිත්‍ර තැනැත්තා මතුත් අපවිත්‍රකරනු ලබාවා. ධර්මිෂ්ඨ තැනැත්තා මතුත් ධර්මිෂ්ඨකම් කරාවා. ශුද්ධ තැනැත්තා මතුත් ශුද්ධකරනු ලබාවා.
12මෙන්න, ඉක්මනින් එමි; එකිනෙකාට තම තමාගේ ක්රියාවේ හැටියට දෙන පිණිස මා සමඟ විපාක තිබේ.
13මම අල්ඵා සහ ඕමෙගාය, පළමුවෙනියා සහ අන්තිමයාය, පටන්ගැන්ම සහ කෙළවරය.
14ජීවන-වෘක්ෂයට පැමිණෙන්ට අයිතිවාසිකම ලැබෙන පිණිසත් දොරටුවලින් නුවරට ඇතුල්වන්ට පුළුවන්වන පිණිසත් තමුන්ගේ සළු සෝදාගන්නාවූ තැනැත්තෝ ආශීර්වාදලද්දෝය.
15පිටත සිටින්නෝ නම් බල්ලෝද මායම්කාරයෝද වේශ්‍යාකම්කරන්නෝද මිනීමරන්නෝද රූප වඳින්නෝද ���ොරුවකට ප්‍රියවන්නාවූ, එය කරන්නාවූ සියල්ලෝද වෙති.
16යේසුස් වන මම සභාවන් උදෙසා මේ දේවල් ගැන නුඹලාට සාක්ෂිදෙන්ට මාගේ දූතයා එවීමි. මම වනාහි දාවිත්ගේ මුල සහ වංශයය, දීප්තිමත් පහන් තාරකාවය.
17ආත්මයාණන්වහන්සේද මනමාලීද: එන්නැයි කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.
18මේ පොතේ අනාගතවාක්‍ය වචන අසන සියල්ලන්ට මෙසේ සහතිකලෙස කියමි, එනම්: යමෙක් ඒ වචනවලට යමක් එකතුකරන්නේ නම්, දෙවියන්වහන්සේ මේ පොතෙහි ලියනලද පීඩා ඔහුට එකතුකරනසේක.
19යමෙක් මේ අනාගතවාක්‍ය පොතේ වචනවලින් යමක් අහක්කරන්නේ නම්, මේ පොතෙහි ලියා තිබෙන ජීවන-වෘක්ෂයෙන්ද ශුද්ධ නුවරින්ද දෙවියන්වහන්සේ ඔහුගේ කොටස අහක්කරනසේක යනුයි.
20මේ කාරණ ගැන සාක්ෂිදෙන තැනන්වහන්සේ කථාකොට: එසේය, මම ඉක්මනින් එමියි කියනසේක. ආමෙන්, ස්වාමිවූ යේසුස්වහන්ස, වැඩිය මැනව.
21ස්වාමිවූ යේසුස්වහන්සේගේ කරුණාව ශුද්ධවන්තයන් හා සමඟ වේවා. ආමෙන්.