Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
22 verses
1තවද සර්දිස්හි සභාවේ දූතයාට මෙසේ ලියන්න:
2අවදිව සිට, ඉතිරිවූ, නැසීයාමට ළංවූ දේ ස්ථිරකරන්න. මක්නිසාද මාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹේ කිසි ක්‍රියාවක් සම්පූර්ණ බව මට සම්බවුණේ නැත.
3එබැවින් නුඹ ලැබුවේ කෙසේද, ඇසුවේ කෙසේදැයි සිහිකර, ඒ දේ පවත්වා, පසුතැවිලිවෙන්න. මෙසේ නුඹ අවදිව නොසිටිනෙහි නම්, සොරෙකු මෙන් එන්නෙමි, මා නුඹ කරා කොයි පැයේ එනවා ඇද්ද කියා නුඹ නොදැනම සිටිනවා ඇත.
4එහෙත් තමුන්ගේ වස්ත්‍ර කිලුටුකර නොගත් ස්වල්ප දෙනෙක් සර්දිස්හි නුඹට සිටිති. ඔවුන් වටින්නන් නිසා සුදු ඇඳුමෙන් මා සමඟ ඇවිදිනවා ඇත.
5ජයගන්නා නම් මෙසේ සුදු වස්ත්‍රයෙන් පළඳවනු ලැබේ; ඔහුගේ නම ජීවන-පොතෙන් කිසිසේත් මකා නොහැර, මාගේ පියාණන්වහන්සේද උන්වහන්සේගේ දූතයන්ද ඉදිරියෙහි ඔහුගේ නාමය පිළිගන්නෙමි.
6ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා.
7තවද පිලෙදල්පියාවෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න:
8එනම්: මම නුඹේ ක්‍රියා දනිමි, (මෙන්න, කිසිවෙකුට පියන්ට බැරිවූ ඇරපු දොරක් නුඹ ඉදිරියෙහි මා විසින් තබා තිබේ.) නුඹට ඇත්තේ ස්වල්ප බලයක්ය. නුඹ මාගේ වචන රක්ෂාකෙළෙහිය, මාගේ නාමය නුඹ එපාකළේ නැත.
9බලව, යුදෙව්වරුව නොසිට තුමූ යුදෙව්වරුයයි බොරුවෙන් කියන්නාවූ, සාතන්ගේ සිනගෝගයේවූ අය ඇවිත් නුඹේ පාද ඉදිරියෙහි වැඳවැටෙන්ටත් මම නුඹට ප්‍රේමකළ බව දැනගන්ටත් සලස්වන්නෙමි.
10මාගේ ඉවසීමේ වචනය නුඹ රක්ෂාකළ හෙයින් පොළොවේ වසන්නන් පරීක්ෂාකිරීමට මුළු ලෝකය පිටට පැමිණෙන්ට තිබෙන්නාවූ පරීක්ෂාවේ පැයෙන් මමත් නුඹ ආරක්ෂාකරන්නෙමි.
11ඉක්මනින් එමි. කිසිවෙක් නුඹේ ඔටුන්න නොගන්නා ලෙස නුඹට තිබෙන දේ තදින් අල්ලාගන්න.
12ජයගන්නා මාගේ දෙවියන්වහන්සේගේ මාළිගාවෙහි කණුවක් කරන්නෙමි, ඔහු තවත් එතැනින් පිටතට නොයන්නේය මාගේ දෙවියන්වහන්සේගේ නාමයද මාගේ දෙවියන්වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින අලුත් යෙරුසලම වන මාගේ දෙවියන්වහන්සේගේ නුවරේ නාමයද මාගේම අලුත් නාමයද ඔහු පිට ලියන්නෙමි.
13ආත්මයාණන්වහන්සේ සභාවට කියන දේ කන් ඇත්තේ අසාවා.
14තවද ලවොදිකයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න:
15එනම්, මම නුඹේ ක්‍රියා දනිමි, නුඹ ශීතලව හෝ උෂ්ණව හෝ නොසිටින බවද දනිමි. නුඹ ශීතලව හෝ උෂ්ණව හෝ සිටිනවාට කැමැත්තෙම���.
16නුඹ උෂ්ණව හෝ ශීතලව හෝ නොසිටි ඇල්මැරී සිටින බැවින් මාගේ මුඛයෙන් නුඹ වමාරන්නෙමි.
17කාලකණ්ණියාද දුක්ඛිතයාද දිළින්දාද අන්ධයාද නග්නව සිටින්නාද නුඹම බව නුඹ නොදැන: මම ධනවත්ය, මට ධනය ඇත්තේය, කිසි දෙයකින් හිඟයක් නැතැයි නුඹ කියන බැවින්,
18නුඹ ධනවත්වන පිණිස ගින්නෙන් පවිත්‍රකරනලද රන්ද, නුඹේ නග්නභාවයේ ලජ්ජාව ප්‍රකාශ නොවන පිණිස හැඳගන්ට සුදු වස්ත්‍රද, නුඹේ ඇස් පෙනෙන පිණිස ඇස්වල ගාගන්ට අඳුන්ද මාගෙන් ලබාගන්ට නුඹට අවවාදකරමි.
19මම ප්‍රේමකරන සියල්ලන්ට තරවටුකොට දඬුවම්කරමි. එබැවින් නුඹ ජ්වලිතව සිට පශ්චාත්තාපවෙන්න.
20මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය.
21මම ජයගෙන මාගේ පියාණන්වහන්සේ සමඟ උන්වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත් සේම, ජයගන්නාටත් මාගේ සිංහාසනයෙහි මා සමඟ ඉඳගන්ට දෙන්නෙමි.
22ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා.