Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
14 verses
1තවද ඇතුළත් පිටත් ලියනලද මුද්‍රා සතකින් තදලෙස මුද්‍රාකරන ලද පොතක් සිංහාසනයෙහි වැඩඋන්නාවූ තැනන්වහන්සේගේ දකුණතෙහි දුටිමි.
2ඒ පොත දිගඅරින්ටත් එහි මුද්‍රා කඩන්ටත් වටින්නේ කවුදැයි කියා මහත් ශබ්දයකින් බලවත් දේවදූතයෙක් හඬගසනවා දුටිමි.
3නුමුත් ස්වර්ගයෙහි හෝ පොළොවෙහි හෝ පොළොවෙන් යට හෝ පොත දිගඅරින්ටවත් ඒක බලන්ටවත් පුළුවන්වූ කිසිවෙක් නොසිටියේය.
4පොත දිගඅරින්ටත් ඒක බලන්ටත් වටින්නාවූ කිසිවෙක් සම්බ නුවූ බැවින් මම බොහෝකොට හැඬුවෙමි.
5එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කථාකොට: නොහඬන්න. මෙන්න, පොත සහ එහි මුද්‍රා සත දිගඅරින ලෙස යූදාගේ ගෝත්‍රයෙන්වූ සිංහයාද දාවිත්ගේ මුලදවූ තැනන්වහන්සේ ජයගත්සේකැයි මට කීවේය.
6තවද අං සතක්ද, පොළොව මුළුල්ලෙහි යවනු ලැබූ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් සත්දෙනා වන ඇස් සතක්ද ඇත්තාවූ, මරනු ලැබුවාක්මෙන් පෙනුණාවූ බැටළු පැටවෙක් සිංහාසනය සහ ජීවමාන සත්වයන් සතරදෙනා මධ්‍යයෙහිත් වැඩිමහල්ලන් මධ්‍යයෙහිත් සිටිනවා දුටිමි.
7ඒ බැටළු පැටවාණෝ ඇවිත් සිංහාසනයෙහි වැඩඋන්නාවූ තැනන්වහන්සේගේ දකුණතින් පොත ගත්සේක.
8එසේ පොත ගත් කල, ජීවමාන සත්වයෝ සතරදෙනා සහ වැඩිමහල්ලෝ විසිහතරදෙනාත් එකිනෙකා වීණාවක්ද ශුද්ධවන්තයන්ගේ යාච්ඤා නමැති සුගන්ධ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍රාද රැගෙන, බැටළු පැටවාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝය.
9ඔව්හු අලුත් ගීතිකාවක් ගායනාකරමින්: ඔබ පොත ගන්ටත් එහි මුද්‍රා කඩන්ටත් වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ මරනු ලැබ, සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනඟගෙන්ද ජාතීන්ගෙන්ද මිනිසුන් ඔබගේ ලෙයින් දෙවියන්වහන්සේට මිලේට ගෙන,
10ඔවුන් අපගේ දෙවියන්වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද කළසේක; ඔව්හු පොළොවෙහි රජකම්කරතියි කීවෝය.
11තවද මම බැලීමි, එවිට සිංහාසනයද ජීවමාන සත්වයන්ද වැඩිමහල්ලන්ද වටකර බොහෝ දේවදූතයන් සිටිනවා දුටිමි, ඔවුන්ගේ හඬද මට ඇසුණේය; ඔවුන්ගේ ගණන දසදහසක් වර දසදහසක් සහ දහස්වර දහස්ව තිබුණේය.
12ඔව්හු කථාකොට: මරනු ලැබූ බැටළුපැටවාණෝ බලයත් ධනයත් ප්‍රඥාවත් පරාක්‍රමයත් ගෞරවයත් තේජසත් ප්‍රශංසාවත් ලබන්ට වටින තැනන්වහන්සේයයි මහත් හඬකින් කීවෝය.
13තවද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් පොළොවෙන් යට සහ මුහුද පිටත් ඇත්තාවූ සියලු මැවිලි වන එහි ඇති සියල්ලෝ: සිංහාසනයෙහි වැඩඉන්න තැනන්වහන්සේටත් බැටළුපැටවාණ���්ටත් ප්රශසාවද ගෞරවයද මහිමයද පරාක්‍රමයද සදාකාලේටම වේවයි කියනවා ඇසීමි.
14ජීවමාන සත්වයෝ සතරදෙනාද: ආමෙන්යයි කීවෝය. වැඩිමහල්ලෝ බිම වැටී නමස්කාරකළෝය.