Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
17 verses
1ඉන්පසු ගොඩටවත් මුහුදටවත් කිසි ගහකටවත් හුළඟ නොවදින පිණිස දේවදූතයන් සතර දෙනෙක් පොළොවේ සතරදිග හුළඟ අල්ලාගන පොළොවේ සතර කොනේ සිටිනවා දුටිමි.
2තවත් දේවදූතයෙක් ජීවමාන දෙවියන්වහන්සේගේ මුද්‍රාව රැගෙන, නැගෙනහිර දිසාවෙන් නගිනවා දුටිමි. ඔහුද ගොඩටත් මුහුදටත් අනතුරුකරන්ට බලය ලත් දේවදූතයන් සතරදෙනාට මහත් ශබ්දයකින් හඬගසා:
3අපේ දෙවියන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ නළල්වල මුද්‍රා තබන තුරු, ගොඩටවත් මුහුදටවත් ගස්වලටවත් අනතුරු නොකරන්නැයි කීය.
4තවද මුද්‍රාකරනු ලැබූවන්ගේ ගණන ඇසීමි, ඉශ්රායෙල් පුත්‍රයන්ගේ සියලු ගෝත්‍රවලින් මුද්‍රාකරනු ලැබූ අය එක්ලක්ෂ සතළිස් සාරදහසක්ය.
5යූදාගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් මුද්‍රාකරනු ලැබුවෝය. රෑබෙන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, ගාද්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද,
6ආෂෙර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, නප්තලීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, මනස්සේගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද,
7සිමියොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, ලෙවීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද,
8සාබුලොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, යෝසෙප්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, බෙන්යමින්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, මුද්‍රාකරනු ලැබුවෝය.
9ඉන්පසු සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනඟගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක් සුදු සළු පැළඳ, තමුන්ගේ අත්වල තාලපත්‍ර ඇතුව, සිංහාසනය ඉදිරියෙහිත් බැටළුපැටවාණන් ඉදිරියෙහිත් සිටිනවා දුටිමි;
10ඔව්හු: සිංහාසනයෙහි වැඩහිඳින අපේ දෙවියන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් ගැළවීම අයිතිය කියා මහත් ශබ්දයකින් හඬගැසුවෝය.
11සියලු දේවදූතයෝ සිංහාසනයද වැඩිමහල්ලන්ද ජීවමාන සත්වයන් සතරදෙනාද වටකර සිට, සිංහාසනය ඉදිරියෙහි මුහුණින් වැටී, දෙවියන්වහන්සේට නමස්කාරකරමින්: ආමෙන්.
12ප්‍රශංසාවද තේජසද ප්‍රඥාවද ස්තුතියද ගෞරවයද බලයද පරාක්‍රමයද සදාකාලේටම අපේ දෙවියන්වහන්සේට වේවා. ආමෙන්යයි කීවෝය.
13එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කථාකොට: සුදු සළු පැළඳ සිටින මොව්හු කවුරුද? කොතැනින් ආවෝදැයි මාගෙන් ඇසුවේය.
14මමද: මාගේ ස්වාමිනි, ඔබ දන්නෙහියයි ඔහුට කීමි. ඔහු කියනුයේ: මොව්හු මහත් පීඩා මැදින් එන්නෝය, ඔව්හු තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදුකරග්තෝය.
15එබැවින් ඔව්හු දෙවියන්වහන්සේගේ සිංහාසනය ඉදිරියෙහි සිටිති; උන්වහන්සේගේ මාළිගාවේ රෑ දාවල් උන්වහන්සේට සේවයකරති. සිංහාසනයෙහි වැඩහිඳින තැනන්වහන්සේ තමන්ගේ මණ්ඩපය ඔවුන්ට උඩින් විදහනසේක.
16ඔවුන්ට තවත් බඩගිනිවන්නේවත් පිපාසා වන්නේවත් නැත; සූර්ය රශ්මියවත් කිසි රස්නයක්වත් ඔවුන්ට පහරදෙන්නේ නැත.
17මක්නිසාද සිංහාසනය මැද සිටින බැටළුපැටවාණෝ ඔවුන්ගේ එඬේරාවී, ජීවන- දිය-උල්පත්වලට ඔවුන් ගෙනයනසේක. දෙවියන්වහන්සේද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේකැයි කීවේය.