Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
15 verses
1නැවත මම මාගේ ඇස් ඔසවා බැලූ විට රථ සතරක් කඳු දෙකකට අතරෙන් පිටත්ව එනවා දුටිමි; ඒ කඳු වනාහි පිත්තල කඳුය.
2පළමුවෙනි රථයට රතු අශ්වයෝද දෙවෙනි රථයට කළු අශ්වයෝද,
3තුන්වෙනි රථයට සුදු අශ්වයෝද හතරවෙනි රථයට ලප ඇත්තාවූ දුඹුරුපාට අශ්වයෝද යොදා සිටියෝය.
4එකල මම මා සමඟ කථාකළ දූතයාට කථාකොට: මාගේ ස්වාමිනි, මේ මොකදැයි ඇසුවෙමි.
5දූතයා මට උත්තරදෙමින්: මොව්හු මුළු පොළොවේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිට පිටත්ව යන්නාවූ ආකාශයේ හුළං සතරයයි කීවේය.
6එහි කළු අශ්වයන් බැඳ සිටින රථය උතුරු දේශයට පිටත්ව යයි; සුදු අශ්වයෝ එවුන් පස්සේ ගියෝය; ලප ඇති එවුවෝ දකුණු දේශයට ගියෝය.
7දුඹුරුපාට එවුවෝ පිටත්ව දේශයෙහි ඇවිදීමට යන්ට වෑයම්කළෝය. ගොස් දේශයෙහි ඇවිදින්නැයි උන්වහන්සේ කීසේක. එවිට උන් දේශයෙහි ඇවිද්දෝය.
8එකල උන්වහන්සේ මට අඬගසා මට කථාකොට: උතුරු දේශයට පිටත්ව ගිය එවුවෝ උතුරු දේශය කෙරෙහි මාගේ ආත්මය සංසිඳෙවුවෝයයි කීසේක.
9තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
10වහල්කමට ගිය අයගෙන්, එනම් බබිලෝනියේ සිට ආවාවූ හෙල්දයිගෙන්ද ටෝබියාගෙන්ද යෙදායාගෙන්ද නුඹ රන් රිදී ලබාගන, ඒ දවසේදී ශෙපනියාගේ පුත්‍රවූ යොෂියාගේ ගෙදරට පැමිණ ඇතුල්වී,
11ඔටුනු සාදා, යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාගේ ඉසේ තබා,
12ඔහුට මෙසේ කියන්න-සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, පැළෑටිය නම්වූ මනුෂ්‍යයා තමන්ගේ ස්ථානයෙන් ගැළවී ඇවිත් ස්වාමීන්වහන්සේගේ මාළිගාව ගොඩනගනවා ඇත.
13උන්වහන්සේම ස්වාමීන්වහන්සේගේ මාළිගාව ගොඩනගා, උන්වහන්සේම මහිමය දරමින්, තමන් සිංහාසනයෙහි වැඩහිඳ ආණ්ඩුකරනසේක; තමන් සිංහාසනයෙහිම පූජකයෙක්වද සිටිනසේක. ඒ දෙදෙනා අතරේද සමාදාන මන්ත්‍රණය තිබෙයි.
14ඒ ඔටුනු වනාහි හේලෙම්ද ටෝබියාද යෙදායාද ශෙ පනියාගේ පුත්‍රවූ හේන්ද උදෙසා සිහිවීමක් පිණිස ස්වාමීන්වහන්සේගේ මාළිගාවෙහි තිබෙයි.
15තවද දුර සිටින්නෝ ඇවිත් ස්වාමීන්වහන්සේගේ මාළිගාව ගොඩනැගීමට උදව්වන්නෝය, සේනාවල ස්වාමීන්වහන්සේ මා නුඹලා ළඟට එවූ බව නුඹලා දැනගන්නහුය. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹලා ඇත්තටම කීකරුවුණොත් මෙසේ සිදුවේයයි කීයේය.