Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
18 verses
1ආමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යොෂියාගේ දවස්වලදී හෙසකියාගේ පුත්‍රවූ අමරියාගේ පුත්‍රයා වන ගෙදලියාගේ පුත්‍රවූ කූෂීගේ පුත්‍රයා වන ශෙපනියා වෙතට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.
2මම භූමිය මතුපිටින් සියලු දේ සහමුලින් නැතිකරන්නෙමියි ස්වාමීන්වහන්සේ, කියනසේක.
3මනුෂ්‍යයා සහ මෘගයා නැතිකරන්නෙමි; ආකාශයේ පක්ෂීන්ද මුහුදේ මත්ස්‍යයන්ද දුෂ්ටයන් ඇතුළුව පැකිලවන දේවල්ද නැතිකරන්නෙමි; භූමිය මතුපිටින් මනුෂ්‍යයා සිඳදමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
4තවද මම යූදාටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධව මාගේ අත දිගුකරන්නෙමි; බාල්ගේ ඉතිරි පංගුවද, පූජකයන් සමඟ කපුවන්ගේ නාමද,
5ගෙවල් මුදුනේ සිට අහස් සේනාවට නමස්කාරකරන්නන්ද, ස්වාමීන්වහන්සේට, දිවුරා මල්කාම් නමිනුත් දිවුරා නමස්කාරකරනන්ද,
6ස්වාමීන්වහන්සේ වෙතින් පසුබටවූවන්ද, ස්වාමීන්වහන්සේ නොසෙවුවාවූ, උන්වහන්සේගෙන් විභාග නොකළාවූ අයද මේ ස්ථානයෙන් සිඳදමන්නෙමි.
7ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබේ. ස්වාමීන්වහන්සේ පූජාවක් පිළියෙළකොට, තමන් විසින් කැඳෙවු අය කැපකර තිබේ.
8එසේ ස්වාමීන්වහන්සේගේ පූජාවේ දවසේදී අධිපතීන්ටද රජුගේ පුත්‍රයන්ටද විදේශි ඇඳුම් අඳින සියල්ලන්ටද දඬුවම්කරන්නෙමි.
9ඒ දවසේම එළිපත්ත උඩින් පැන තමුන්ගේ ස්වාමිවරුන්ගේ ගෙවල් බලාත්කාරයෙන්ද ප්‍රයෝගයෙන්ද පුරවන සියල්ලන්ටත් දඬුවම්කරන්නෙමි.
10එම දවසේම මත්ස්‍ය දොරටුවෙන් ඝෝෂාවක්ද දෙවෙනි කොටසෙන් කෑමොරගැසීමක්ද හෙල්වලින් බිදීම් ගබ්දයක්ද වන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
11මක්තේෂ්හි වැසියෙනි, කෑමොරගසාපල්ලා, මක්නිසාද කානාන්හි සියලු සෙනඟ නාස්තිවී ගියාය. මුදල් රැස්කරගත් සියල්ලෝ සිඳදමනු ලැබුවෝය.
12ඒ කාලයේදී මම පහන් දල්වා යෙරුසලම සෝදිසිකරන්නෙමි; තවද තමුන්ගේ මණ්ඩි පිට තදවී සිටින්නාවූ, ස්වාමීන්වහන්සේ යහපතවත් නපුරවත් කරන්නේ නැතැයි තමුන්ගේ සිත් තුළ සිතාගන්නාවූ මනුෂ්‍යයන්ට දඬුවම්කරන්නෙමි.
13ඔවුන්ගේ සම්පත් කොල්ලයක්ද ඔවුන්ගේ ගෙවල් පාළුවක්ද වන්නේය. එසේය, ඔවුන් ගෙවල් ගොඩනගන නුමුත් ඒවායේ වාසයකරන්නේවත් මිදිවතු වවන නුමුත් එයින් මුද්‍රිකපානය බොන්නේවත් නැත.
14ස්වාමීන්වහන්සේගේ මහත් දවස ළංව තිබේ, ඒක, එනම් ස්වාමීන්වහන්සේගේ දවසේ ශබ්දය, ළංව ඉතා ඉක්මනට එන්නේය. එකල බලවතා තදලෙස කෑගසන්නේය.
15ඒ දවස වනාහි උදහස් දවසක්ය, දුක්ඛිතවූ විපත්ති දවසක්ය, නාස්තිවීමේ හා සුනත්වීමේ දවසක්ය, අන්ධකාරවූ කළුවරවූ දවසක්ය, වලාපටලද ඝනාන්ධකාරයද ඇති දවසක්ය,
16පවුරු ඇති නුවරවලටත් උස්වූ කොත්වලටත් විරුද්ධව හ��රණෑ පිඹීමේද ඝෝෂාකිරීමේද දවසක්ය.
17ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළ බැවින් ඒ මනුෂ්‍යයන් අන්ධයන්මෙන් ඇවිදින හැටියට මම ඔවුන් පිට විපත්ති පමුණුවන්නෙමි. ඔවුන්ගේ ලේ ධූලි මෙන්ද ඔවුන්ගේ මාංසය කසළ මෙන්ද වගුරනු ලබන්නේය.
18ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී ඔවුන්ගේ රිදී නිසාවත් ඔවුන්ගේ රන් නිසාවත් ඔවුන්ට ගැළවෙන්ට නුපුළුවන; උන්වහන්සේගේ ජ්වලිත ගින්නට මුළු දේශය විනාශවන්නේය. මක්නිසාද උන්වහන්සේ දේශයේ වසන සියල්ලන් පිටට අන්තිමයක්, එනම් භයානක අන්තිමයක්, පමුණුවනසේක.